ස්තුතිය සහ වන්දනාව

පාරෙ තොටේදී එනම් ගොඩබිම හරහා ගමනේ යෙදෙන මාවතේදී මෙන්ම ගංගාවක හෝ මුහුදු ගමනකට පිවිසෙන තීර්ථයකදී ජනී ජනයා මුණ ගැසෙති, මුණ ගැසී වෙන්ව යති. එදා මෙන්ම අදත්, පාර සහ තොට යන අවස්ථා දෙකම, බොහෝවිට, එකිනෙකා නොහඳුනන මහ සෙනගක් ගොනුවී ගලන, ප‍්‍රවාහන පථයන් සහ ඒවායේ කේන්ද්‍රයන් වෙයි. පාර සහ තොට යන වචන ද්වයම එහි නිරුක්තිය ලබා යුග්මයක් ලෙස ව්‍යවහාරයට ආ කාලයේදී එම පාරෙදී එම තොටේදී දක්නට ලැබුණු ප‍්‍රවාහන ඒකක නූතන යන්ත‍්‍රවලට වඩා නිර්මිතයෙන්, ධාවන වේගයෙන් සහ ඒවායේ ජවයෙන් ඉඳුරාම වෙනස්ව උපත් ලබා හෝ විකාශනය වී සීටී. තවත් එක් වෙනසක් වන්නේ එදා ගංගා සහ මුහුදු තීර්ථයන්හී දක්නට ලැබුනේ ජලය මත පාවෙන ජල යාත‍්‍රා පමණක් වන අතර අද කිමිදී ගමන් ගන්නා සබ්මැරීන(කුමුදු) ද පවතී. එපමණක් නොව, ජල තීර්ථයන් පරයා, බුරුතු පිටින් යානා නික්මෙන සහ ගොඩබසින ගුවන් තොටුපළවල් ද බහුලව පැතිර පවතී. ඒ සමග ජල තීර්ථයන් වෙතට පවා අහසින් පාත්වෙන ගුවන් යාත‍්‍රා ද ඒ අතර වෙයි.

වර්තමානයේ මෙම ප‍්‍රවාහන යන්ත‍්‍රවල වේගය සහ ප‍්‍රමාණාත්මක ඝනත්වය ඒවා උපද්දවනු ලැබූ තාක්ෂණයට හා චින්තනයට පාලනය කරගත නොහැකි ඉමකට වර්ධනය වී ගොස් ඇත. දිනකට සිදුවන ප‍්‍රවාහන අනතුරු මෙම අර්බුදය පෙන්වන එහි එක් පරාවර්තනයකි. අනෙක වන්නේ එම යන්ත‍්‍ර විසින් දවනු ලබන ඉන්ධනවල අතුරුඵල පරිසරය මත සිදු කරනු ලබන අගතියයි.

තරමක් දිගු කලකට ඉහත දිනෙක, මම, මහ පාරක බස් නැවතුමක, බසයක් එනතුරු බලා සිටින මගීන් අතර ඔවුනට මඳක් පිටතින් සිටුවනම රැඳී සිටියෙමි. පාරෙදී බස් නැවතුමට විරුද්ධ පැත්තේ කුඩා කඩ මණ්ඩියක් විය. මා අසලම, පසෙකින්, කුඩා දරුවෙක් වඩාගත් තරුණ වියේ කාන්තාවක් පාසැල් යන්නට ආසන්න වයසක වූ තවත් පිරිමි දරුවෙක් සමග සිටියෝ ය. පිරිමි දරුවා බස් නැවතුමේ සිටි අය දෙස හැරී බලමින් මව අසල රැඳී සිටියේ ය. හදිසියේම මව, පාරෙන් එගොඩ පැත්තේ වූ කඩ මණ්ඩියෙන් එළියට බැසගත් කෙනෙක් වෙත, පාර හරහා ගමන් කරන්නට වූවා ය. ඇය පාරෙන් එහා පැත්තට ගමන් කරනු ඇය අසල සිටියත්, පිරිමි දරුවා නොදැක්කේය. ඔහු තමා නරඹමින් සිටි වස්තූන්ගෙන් ඇස මිදුනු වහාම දුටුවේ තම මව පාරේ එහා පැත්තේ සිටින බවය. ක්ෂණයෙන් මව වෙත ගමන් කරන්නට ඔහු පාරට පනිනු මම දැක්කෙමි. ඒ සමගම පාරෙදී ලොරියක් ඔහු වෙත වේගයෙන් ඇදී එමින් තිබිණ. ක්ෂණයකින් දරුවා මාවෙත ඇදගනු ලැබ සිදු වන්නට තිබූ මහ අපලයෙන් ඔහු නිදහස් කරගනු ලැබිණ.

දරුවා එගොඩ සිටි මව වෙත ගෙන ගිය මම මවගෙන් ස්තූති පූර්වක වචනයක් පවා නොලද්දෙමි. ඒ වෙනුවට ඇය යාන්තමින් හිස ඔසවා මා දෙස බැලූවා පමණි.

‘‘ස්තූතියි’’, ‘‘බොහොම ස්තූතියි’’, ‘‘තෑන්ක් යූ’’ කියන්නට මා පටන් ගත්තේ කුමන කාලයේදී දැයි මම කාලය පීරන්නට පටන් ගත්තෙමි. එම කාලය මගේ ජීවිතයෙන් ඇරඹෙන්නේ පහේ ශිෂ්‍යත්වය සමත්ව මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුළත් වූ දින සිටය. මා හැදී වැඩුනු ඈත පිටිසර ප‍්‍රජාවට, උදව්වක් පදව්වක් කළ අයට ‘‘ස්තූතියි’’ යැයි තෙපළන, කෘතවේදීත්වය හුදු වචනයකට ගොනුකළ සම්ප‍්‍රදායක් නොපැවතිණ. පැවතියේ ‘‘මේ කරපු උදව්වට මතු මත්තේ වැඩි වැඩියෙන් ලැබෙන්නට  ඕනෑ’’, ‘‘මතු බුදු වෙන්ඩ  ඕනෑ’’, ‘‘කිරි උතුරන්ඩ  ඕනෑ’’, ‘‘මතු කවරදාවත් කිසිම කිසියම් දුගතියකට යන්නේ නෑ’’ ආදී වූ ප‍්‍රාර්ථනා සමූහයකි. එම ප‍්‍රාර්ථනාවන්ද වූයේ වැඩිහිටියන් අතර පමණි. ඒවා ද කියවුනේ සිද්ධියෙන් එපිට ඒ පිළිබඳ ස්මරණ කතා බහකදී ය.

වැඩිවියට පත්නොවූවන් එවැනි උදව්වක් ඉදිරියේ ‘‘ස්තූතිය’’ වෙනුවට ඇතැම් විට හිනාවක් පළ කරයි. නැතිනම් නිශ්ශබ්දවම හිඳියි. මෙම නිශ්ශබ්දතාවය ලැබූ උදව්ව නොසැලකීම සඳහා නොව එය හෘදයේ වඩාත් ගැඹුරක යෙදු හඩක් නොමැති ලිඛිත සටහනක් වෙනුවෙන් පෙනී සිටීයේ යැයි මම සිතමි.

‘‘ස්තූතියි’’ යන්නට පර්යායව පෙනී සිටින ‘‘තෑන්ක්’’ යන ඉංගි‍්‍රසි පදයේ නිරුක්තිය මම නොදනිමි. එහෙත් ස්තූති යන්නෙහි මූලය කළ යම් ක‍්‍රියාවක් හෝ චරිතාංගයක ගුණ මතුකොට කෙරෙන ගුණ වැනුමක් යන අදහස සහිත ‘‘ස්තෝත‍්‍ර’’ යන්නෙහි ගැබ්ව තිබේ. එහි සම්භවයට එතරම් දුර අතීතයක් ඇතැයි නොසිතමි. සමස්ත ජීවිතයම, පිරුණු, අත්හැරිය නොහැකි සාමූහික සමාජයක ‘‘ස්තූතිය’’ යෙදෙන්නේ කිනම් අවස්ථාවන්හිදී ද? හඩන දරුවකු වෙනුවෙන් කිරි එරෙන ප‍්‍රජාවක් තුළ ‘‘ස්තූතියි’’ යන්න බොළඳ අරුත් සුන් හඩක් බවට ලඝුවනු නොඅනුමානය. මගේ ජීවිතය පරදුවට තබා, පාරට බට, අසරණ දරුවා බේරා ගැන්ම මා වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් වෙයි. එය ඉටු නොකළොත් පමණි මා වචනයෙන් ඇමතිය යුත්තේ. ඉටු කිරීමෙන් පසු ස්තෝත‍්‍ර ගැයීමක් අවශ්‍ය වන්නේද? එම ගැඹුරු සාමූහික කැපවීම සිදුරු වී භින්නව ගිය තැන ‘‘ස්තූතිය’’ යන හඩ මතුව එන්නට ඇත.

අපගේ ආචාර සමාචාරවල ස්වභාවය කෙබඳු වෙත්ද? කෙනෙක් වෙන්ව යන විට අපි අත වනමු. සමීප කෙනෙක් කලකින් මුණගැසුන විට තදින් අත අල්ලාගෙන තොරතුරු විචාරන්නෙමු. වැඩිහිටියෙක් වෙන්ව යනවිට හෝ ගෙතුළට ගොඩවදින විට දණ නමා දෙපා වැඳ අවසර ගන්නෙමු. වඩා ඉහළ රාජ්‍ය නිලධාරීන් හෝ අමුත්තන් බුලත් හුරුළු දී කැන්දාගෙන යන්නෙමු.  මේ සෑම ක‍්‍රියාවක් තුළම ආචාරයක එසේ නැතිනම් ගරු කිරීමක ලක්ෂණ ගැබ්ව පවතී.

වන්දනාව මෙම ආචාර සමාචාර ක‍්‍රියාවෙන් වෙන් වන්නේ කෙසේද? අප ආචාර සමාචාර පවත්වන්නේ කවුරුන්ටද? අපගේ වන්දනා මානයට ලක් වන්නේ කව්රුන්ද? යන්න මෙහිදී සිහියට නැගෙන කරුණකි. අපගේ ඉතා සමීපස්ථ සංස්කෘතික ජීවිතයේ වන්දනාවට ලක් වන්නේ අපගේ මව් පිය දෙපළයි. ආගමික ජීවිතයේ නම් බුදුවරු සහ දෙවිවරුය. අපි බුදුවරුන් වන්දනා කරන්නේ කෙසේද?

ගුරු දෙගුරුන් එනම්, ගුරුවරු සහ දෙමව්පියන් බුදුන් වඳින ලෙස වන්දනා කිරීම, අප හැදියාවේ මහා පිළිවෙතයි.

බුදුන් සිහි කරමින් එතුමන්ගේ අලෞකික වූ ලෝකෝත්තර ගුණ සමුදාය සිහි කිරීම හෙවත් එම ගුණ ගැයෙන පාලි පාඨ ගැයීම බුදුන් වැඳීමේ අංගයයි. බුදුන් වෙනුවෙන් පෙනී සිටින බෝධිය, චෛත්‍යය හෝ ප‍්‍රතිමාව වටා, දක්ෂිණාවර්ථව එනම් පිළිමය හෝ බෝධිය දෙසට දකුණු පැත්ත සිටින සේ, පැදකුණු කිරීම මේ සම්ප‍්‍රදායයි.

මීට දශක දෙකකට පමණ ඉහතදී මා ද්වීතීක අධ්‍යාපනය ලත් පාසැලේ ආරම්භක අවදියේ සේවය කළ වයෝවෘද්ධ ගුරුවරයකු මට මුණ ගැසුණි. ඔහුගේ මතකයේ රැඳුන එක් සිද්ධියක් මෙහිලා සටහන් කරමි.

‘‘මගේ ශිෂ්‍යයෙක් හිටියා, ඔහු ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙලා වෙනත් පාසැලක අධ්‍යාපනය ලබන්න අස්වෙලා යන වෙලාවේ එයාගේ තාත්තා කිව්වා මහත්තයාට වඳින්න කියලා. ඒ කියනකොට ශිෂ්‍යයා සිය පියාගේ මුහුණ දිහා බැලූවා. එතකොට තාත්තා කිව්වා, අම්මටයි මටයි වැඳලා යන විදිහට වඳින්න’’ කියලා.

සිය ශිෂ්‍යයා තමා වටා ප‍්‍රදක්ෂිනා කරමින් තෙවරක් වැන්ද ආකාරය ඔහු මා ඉදියේ විස්තර කරමින් පැවසුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍යශේඛරයේ එන ආචාර්යවරයාණන්ගෙන් ශිෂ්‍යයා වැඳ සමුගත් අයුරු කියැවෙන කවිය තමා විසින් මැනවින් තේරුම් ගනු ලැබුවේ එදින බවය. (මෙය සිදුවූයේ 1950 ගණන්වල කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේදී) කාව්‍යශේඛරයේ එම කවියද පහත දක්වමි.

‘‘මහත්මා ඒ ගුරුන්ගේ

පා පියුම් යුගදී මුදුණ තා

මහත් බැතියෙන් සිතත් හව වැඳ

ඇවිද ඇතුළත කැර අතා.

ඇතොත් වරදක් මෙතෙක් කල් හිඳ

කමා කරවයි කැර කතා

ගෙනත් අවසර නෙතත් කඳුලැලියෙන්

පුරා බැස මහ වතා’’

(5 වන සර්ගයේ 54 වන කවිය)

ඊළගට මෙහිලා දෙගුරුන් නමදින ගාථාවන් සාකච්ඡුා කරන්නට මට ඉඩ දෙන්න.

ප‍්‍රථමයෙන් දරුවෝ සිය මව් වන්දනා කරති. එවිට අදාළ වන්දනා පාලි පාඨය හඩ ඇසෙන සේ ගැයෙයි.

‘‘දස මාසේ උරේ කත්වා – පෝසේ සි වුද්ධි කාරණං

ආයු දීඝං වස්ස සතං – මාතු පාදං නමාමහං’’

මෙහි මුඛ්‍ය අදහස වන්නේ මව විසින් මා දස මසක් උරයෙහි දරා සිට, බිහිකොට, සියක් වසක් (වස්ස සතං) මාගේ ආයුෂ පවතින සේ ඒ සඳහා අවශ්‍ය කායික ශක්තිය ලැබෙන පරිදි මා කවා පොවා පෝෂණය කොට රැකබලා ගන්නා මව වන්දනා කරමි යන්නය.

මෙය දරුවා විසින් පවසනු ලැබුවත් එය මව්වරුන් විසින් දැරිය යුතු වූ දරුවන් වෙනුවෙන් වන මහා ප‍්‍රතිඥාවයි. එය ඇයගේ මහා කාර්යභාරයයි. ශතවර්ෂයක් ජීවිතය ගෙවනු පිණිස අවශ්‍ය වන්නාවූ කායික, මානසික ඇවතුම්-පැවතුම්, පෝෂණය, ලෙඩ දුක්වලින් මුදවා ගැනීම ආදී සියල්ල, කුසයේ සිට ලෝකයට භාර දීමෙන් අනතුරුව පවා, පවත්වා ගැන්මේ වගකීම මවකට අත්හළ හැකි නොවේ. දරුවා විසින් සිය මව වටා ප‍්‍රදක්ෂිණා කරමින් මෙය ගැයෙන විට මව විසින් දැරිය යුතු මෙම වගකීමේ බර ඇගේ ආත්මය තුළට නිතැතින්ම කිඳා බසියි.

මේ මහා උත්තරීතර මානව කාර්යභාරය මවක් විසින් උර දරන්නේ කෙසේද? දරුවා කුස දරන්නට පෙර තමා කායිකව ඒ සඳහා සූදානම් වීම, දරුවා කුස හිඳින කල ලබන පෝෂණය හා මානසික විවේකය, දරුවා ලැබුණු පසු ඔහුගේ නැළවිලි ගීත, ඔහු නැහැවීම, තෙල් බෙහෙත් ගැල්වීම, ඇඳුම් පැළඳුම් සැලසීම, කෑම බීම සැපයීම ආදී මේ සියල්ල මවක් විසින් දැන සිටිය යුතු ඉටු කළයුතු මූලික කරුණු වෙයි. අද මවක් මේ වගකීම දැරීම සඳහා සුදුසුකම් ලබයිද? අද මවකට මේ මහා කාර්යභාරයේ අල්පමාත‍්‍ර වූ පංගුවක් ලෙස පිහිටට එනු ඇත්තේ කුඩා කල බෝනික්කකු නැළවූ ඉතා සීමිත අත්දැකීම පමණක් විය හැක.

දෙවනුවට හෝ ඇතැම් විට ප‍්‍රථමයෙන් නැමදෙන පියා වන්දනා කරන පාලි පාඨය කුමක්ද?

‘‘වුද්ධිකාරො අලිංගිත්වා – වුම්බිත්වා පිය පුත්තකං

රාජ මජ්ජං සුපතිට්ඨං  – පීතු පාදං නමා මහං’’

පියාණන් මා වැළඳගෙන සිප සනසයි. (ආදරය කරයි) ඔහු විසින් මා වඩයි. මා රජුන් මැද සභාවේ පිහිටුවයි. මම ඔහුගේ දෙපා වඳිමි.

පියකුගේ සෙනෙහස මවක් මෙන් දරුවෙකුට දෙන ලෙස මෙය යෝජනා කරයි. පියෙකුගේ සම්මුතික දැඩි බව වෙනුවට ඔහුගේ ළයෙහි ස්පර්ශය දරුවෙකුට ලැබිය යුතු යැයි යෝජනා කරයි. මවකගෙන් අපේක්ෂිත වූ පෝෂණයට අමතරව, පියාගෙන් දරුවාගේ වෘද්ධිය නැතහොත් වැඞීම අපේක්ෂා කෙරෙයි. ඊළ`ගට පැවසෙන්නේ කුමක්ද? රාජ සභාවක මධ්‍යයේ සිය දරුවා ස්ථාපනය කිරීම පියාගේ කාර්භාරය වන බවයි. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

නිරවුල් චින්තනයක් සහිත, වියත් මෙන්ම සෘජු පෞරුෂයක් ගොඩනැගීමෙන් පමණක් සුධාරක රාජ සභාවක ප‍්‍රතිස්ථාපනයට කෙනෙකු උචිත බව පසක් කරයි. මෙය පියෙකුගේ ඉහළ කාර්යභාරයයි. මේ සඳහා බහුශ‍්‍රැතයන් මෙන්ම ශිල්ප ඥාන ධාරාවන් වෙත තම දරුවා කැඳවාගෙන යායුතු වේ.

දරුවා විසින් මේ වන්දනා පාඨය තමා වටා පැදකුණු කරමින් ගැයෙන විට මවට මෙන්ම පියෙකුට තමාගේ පීතෘ කාර්යභාරය කුමක්දැයි සිත තුළට ගැඹුරින් දැනෙන්නට පටන් ගනී. පීතෘත්වය එහි මහා පුළුල් අර්ථයෙන් තමා තුළ දැල්වෙන්නට පටන් ගනී.

මවකගේ සහ පියෙකුගේ කාර්යභාරයන් එක්ව ගොනු කළ විට ඒවා රටක අනාගත පරපුර වෙනුවෙන් රජකු විසින් දිය යුතු ප‍්‍රතිඥාවන් බවට පත්වෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපන් රටේ මූලික ප‍්‍රතිඥාවක් වූයේ වැඩෙන සහ ලැබෙන්නට සිටින දරුවන්ගේ කායික පෝෂණය නොමදව ඉටු කිරීමට ක‍්‍රියා කළ යුතු බවයි. මෙය මවගේ කාර්යභාරයයි. ශිල්ප ලබාදී නිරවුල් චින්තනයකින් අනාගත පරපුර ශක්තිමත් කිරීම රටක ඊළග අත්හළ නොහැකි වගකීමයි. මෙය පියෙකුගේ උරමත රැඳුන මහා භාරයයි. දෙගුරුන් නිබඳව තමා ඉදිරියේ දණ නමා සිය දරුවන් විසින් මුමුණනු ලබන වන්දනා ගාථාවල සැබෑ අරුත අවශෝෂණය කොට ගතහොත් ඔවුන් අතින් තම දරුවන් උදෙසා අලූත් දේශයක් තැනෙනු ලැබීම කවරකුටවත් වැළැක්විය නොහැකි වනු ඇත.

සියල්ලන්ටම යහපතක්ම වේවා !

– උඳුල බණ්ඩාර අවුසදහාමි

By ලංකා සී නිවුස්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )