භික්‍ෂුණී ශාසනය

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂා සමාදන්ව ඒවා ආරක්‍ෂා කිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම කාන්තාවෝ සසුන් ගත වී මහණදම් පිරීමට කැමැත්ත දැක් වූවා ය. සුද්ධෝධන මහ රජ තුමාගේ අභාවයෙන් පසු යශෝධරා දේවිය පැවිදි බව ලබා ගැනීමට උත්සාහ කළා ය. එම අවස්ථාවේ දී මහා ප්‍රජාපතී ගෝතමී, දියණියනි! මම බුදුරජාණන් වහන්සේගේ මවු බවට පත්වීමි. ඒ මටත් තෙවරක් ඉල්ලා සිටියත් උතුම් පැවිද්ද නොලැබිණි. මම ගොස් පළමුව කෙසේ හෝ පැවිද්ද ලබන්නෙමි. ඔබ පසුව පැවිදි වුව මැනවයි කීවා ය.

මේ කාලයේ දී ශාක්‍ය සහ කෝලිය දෙවංශය අතර යුද ගැටුමක් ආරම්භ විය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දෙ පිරිස අතරට පැමිණ දහම් දෙසූහ. ඒ සද්ධර්මය ඇසීමෙන් ශාක්‍ය වංශික කුමාරයෝ පන්සියයක් දෙනා සසුන් ගත වූහ. අනතුරුව ඒ ශාක්‍ය කුමාරයන්ගේ භාර්යාවෝ ද සසුන් ගතවීමට කැමැත්ත දක්වා මහා ප්‍රජාපතී ගෝතමී දේවීය සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ වසන නීග්‍රෝධාරාමයට ගොස් උන්වහන්සේගෙන් පැවිදි වීමට අවසර පැතුවා ය.

එම කාලය භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීමට තරම් සුදුසු කාලයක් නොවූ බැවින් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. එයින් අධෛර්යට පත් නොවූ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස කහවත් හැඳ බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් වාසය කළා ය.

බුදුරජාණන් වහන්සේ පස් වන වස විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි වැඩ වාසය කරමින් සිටියහ. එම අවස්ථාවේ දී මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස විශාලා මහනුවරට ගොස් ආනන්ද හාමුදුරුවන් හමුව ඔවුහු පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් එහි පැමිණි බව උන්වහන්සේට දැන්වූහ. එවිට ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස!

යම් ස්ත්‍රියක් මේ සසුනේ පැවිදිව විදසුන් වඩයි නම් සෝවාන් ආදී මඟඵලයන්ට පැමිණිය හැකි නොවන්නේ දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ, ආනන්දයනි! යම් ස්ත්‍රියක් පැවිදිව වීර්ය වඩන්නේ නම් ඇයගේ ස්ත්‍රී බව මඟඵල ලබන්නට බාධාවක් නොවේ යැයි වදාළහ. එසේ වී නම් ස්වාමීනී! ස්ත්‍රී වර්ගයාගේ යහපත පිණිස ස්ත්‍රීන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දෙන සේක්වා! ඔබ වහන්සේගේ සුළු මව් වූ මහා ප්‍රජාපතී ගෝතමිය පන්සියයක් කුමාරිකාවන් සමග පැමිණ සිටී. ඔවුන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන සේක්වායි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. එසේය ආනන්දය!

එසේ නම් ඔවුන් පෙර බුදුවරයන්ගේ දවස ශ්‍රාවිකාවන් පිළිගත් ගුණධර්ම අට පිළිපැදිය යුතු ය.ඒ ගුණධර්ම අට පිළිගැනීමෙන් ම ඇයට මහණ උපසම්පදාව පිහිටන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එයින් පසු මහා ප්‍රජාපතී ගෝතමී ඇතුළු කාන්තාවෝ බුදුරජාණන් වහන්සේ පැන වූ ගරු ධර්ම අට පිළිගත්හ. එයට ඔවුන්ට පැවිද්ද උපසම්පදාව විය. මෙය කාන්තාවන් ගේ පැවිදිවීමේ ආරම්භයයි.

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මහා ප්‍රජාපතී රහත් මෙහෙණිය අනෙක් රහත් භික්‍ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරට පත් වූවා ය. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂාවන් සමාදන්ව ඒවා ආරක්‍ෂාකිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය. එය ලබාගත යුත්තේ භික්‍ෂු භික්‍ෂුණී සංඝයා ඉදිරියේ ය. නවක භික්‍ෂූණීන් ආචාර්ය උපාධ්‍යාය භික්‍ෂුණීන් ඇසුරෙහි දෑ අවුරුද්දක් ශාසනික ප්‍රතිපදා ප්‍රගුණ කළ යුතු ය.

භික්‍ෂුණීන් ගේ එදිනෙදා කටයුතු සමාජයේ ප්‍රසාදයට හේතුවන පිණිස විනය ශික්‍ෂාවන් තුන්සිය පහක් බුදුරජාණන් වහන්සේ විසින් පැන වූ සේක. භික්‍ෂුණීන් සඳහා භික්‍ෂුණී ප්‍රාති මෝක්ෂයද වදාළහ. මෙහෙණි සස්න ක්‍රමයෙන් දියුණු වී භික්‍ෂුණීන් වහන්සේ භික්‍ෂූන් ලත් වරප්‍රසාද ද ලබා ගත්හ. ඒ අනුව ඛේමා, උප්පලවන්නා භික්‍ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවෝ වූවා ය. පටාචාරා තෙරණිය විනය ධර තනතුර ලැබුවා ය. මහා ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ එක්සිය විසි වසක් ආයු වැළඳූහ. අවසානයේ දී පිරිනිවන් පෑමට මට අවසර දුන මැනවි යනුවෙන් ඉල්ලා සිටියා ය.

ලක්දිව භික්‍ෂුණී ශාසනය

මිහිඳු මහරහතන් වහන්සේ විමාන වත්ථු, පේත වත්ථු ආශ්‍රයෙන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසූහ. එම ධර්මය ඇසීමෙන් මහානාග යුවරජතුමාගේ බිසව වූ අනුලා දේවිය සෝවාන් වූවා ය. එයින් පසු අනුලා දේවිය තමන් පැවිදි කරන ලෙස ඉල්ලා සිටියා ය.

එවිට මිහිඳු මහ රහතන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීමට තමාට අවසර නැති බවත්, ඒ සඳහා තමාගේ සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය මෙහි කැඳවන බවත් ප්‍රකාශ කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය ලක්දිවට එවන ලෙස දන්වා අරිට්ඨ ඇමැති අත අශෝක රජතුමාට සන්දේශයක් යැවූහ. ඒ බව මහාවංශය මෙසේ සඳහන් කරයි. “රාජ ශ්‍රේෂ්ඨයන් වහන්ස! නුඹ වහන්සේ ගේ යහළු රාජාණන් සහෝදරයාණන් ගේ දේවී තොමෝ පැවිදි පතමින් නිබඳ සංයම ඇතිව වසන්නීය. ඒ දේවී පැවිදි කරුණු පිණිස සංඝමිත්‍රා නම් මෙහෙණින්න මෙහෙයව.” මහා වංශය, 18 පරිච්ඡේදය 76 පිටුව, හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම කොළඹ 1946 අරිට්ඨ ඇමැති එම හසුන සංඝමිත්තා තෙරණියට ද දැන් වූ පසු එතුමිය පිය රජු වෙත පැමිණ,

“ඒ ස්ථවීර තොමෝ පිය මහ රජාණන් කරා එළඹ, මහරජාණනි! මාගේ සහෝදරයාණන් ගේ වචනය මට ගරුය. පැවිදි කටයුත්තියෝ ද බොහෝය. එහෙයින් මා විසින් එහි යායුතුයයි, ඕ තොමෝ කීවා ය. මහාවංශය 77 පිටුව. එයින් පසු සංඝමිත්තා තෙරණිය සමඟ උත්තරා, හේමා, මසාරගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓන්ගු, මත්තා මල්ලා සහ ධම්මදාසී යන භික්‍ෂූණීන් වහන්සේ සමඟ ලක්දිවට පැමිණියාය. (දීපවංශය) තවද පසු කාලයේ දී මෙරටට භික්‍ෂුණීන් වහන්සේ විසි දහසක් පමණ පැමිණි බව ද සඳහන් වේ. සංඝමිත්තා තෙරණිය පැමිණි පසු අනුලා දේවිය ඇතුළු පිරිස මහණ උපසම්පදාව ලැබුවා ය. මෙයින් පසුව කාන්තාවෝ සිය ගණනින් සසුන් ගත වූවා ය. රජතුමා ඉදිකළ මෙහෙණවර ඉඩ මද වූ බැවින් ඒ ආශි‍්‍රත ගොඩනැඟිලි දොළහක් රජතුමා විසින් ඉදිකරන ලදී. තිස් වසරක් ලංකා සාසනයට සේවයක් කළ සංඝමිත්තා තෙරණිය උත්තිය රජ දවස, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසරකට පසු හත්ථාහල්ලක මෙහෙණවරෙහි පිරිනිවන් පෑහ. ඒ බව මහාවංශයෙහි මෙසේ සඳහන් ය.

සංඝමිත්තා තෙරණිය සමඟ මෙහි පැමිණි භික්‍ෂුණීන් වහන්සේ ත්‍රිපිටකධර වූහ. විනය ධර වූහ. මේ අයගෙන් සමහරෙක් අනුරාධපුර, සහ රෝහණ දේශයේ ත්‍රිපිටකය සහ විනය ඉගැන්වූහ. උත්තරා තෙරණිය එයින් එක් තෙරණියකි. අනුලා තෙරණියගෙන් ආරම්භ වූ ලාංකික භික්‍ෂුණී සමාජය ක්‍රමයෙන් වර්ධනය විය. සාමා, ධම්මා, මහිලා, නරමිත්තා, සානා සහ උත්තරා යන භික්‍ෂුණීන් වහන්සේ ගුණවත් නැණවත් අය වූ බව දීපවංශය සඳහන් කරයි. කාවන්තිස්ස සහ සද්ධාතිස්ස යන රජවරුන්ගේ දියණිවරු පැවිදි වී සිටියහ. සමුද්ධා, නාවා, දේවී සහ සීවලී යන භික්‍ෂුණීහු රජ දියණිවරු වූහ. දුටුගැමුණු රජතුමා කළ මිරිසවැටි පූජා උත්සවයට භික්‍ෂුණීන් වහන්සේ අනුදහසක් සහභාගි වූ බව මහා වංශයේ සඳහන් වෙයි.

“ඒ නරෙශ්වර තෙම විහාර පූජා කරනයෙන් සංඝයා රැස් කරවූයේ ය. එ දවස රැස් වූ භික්‍ෂූන් ලක්‍ෂයක් වූහ. භික්‍ෂුණීහුද අනුදහසක් වූහ.” මහා වංශය 26 පරිච්ඡේදය 109 පිටුව. මෙම භික්‍ෂූණී සංඛ්‍යාව පිළිබඳව ථූපවංශයේ ද සඳහන් වෙයි. එහි දක්වන පුවත මෙසේ ය.

“එසේ ලවන ලද මඩුවෙහි ලක්‍ෂයක් පමණ භික්‍ෂූන් වහන්සේ ද අනූදහසක් පමණ භික්‍ෂුණීන් වහන්සේද වඩා හිඳුවා අතැපැන් වත්කොටැ භික්‍ෂූන් වහන්සේට මහ දන්දී සිවුරු ආදී සියලු පිරිකර දුන්හ.

Advertisements

One comment on “භික්‍ෂුණී ශාසනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )