බුදු දහමේ ඉතිහාස‍ය

ආර්යයන් ක්‍රි.පූ. 1500 දී ඉන්දියා‍වට කඩාවැදුණු සංචාරක එ‍ඩේර ගෝත්‍ර කීපයකින් සැදුම් ලත් ආක්‍රමණිකයන් පිරිසකි. සෘග්වේදය මොවුන්ගේ ආගමික ග්‍රන්ථයයි. වඩාත් කාව්‍යමය අගයකින් යුත් එහි, ස්භාවික දේව වන්දනා පිළිබද චමත්කාර විස්තර මිස ඇත්ත වශයෙන්ම දාර්ශනික සංකල්ප නොමැති තරම්ය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික ක්‍රමය නිසා ඔවුන්ගේ ආගමික පිළිවෙත් මෙලෙස සකස් වු බව නිසැකවම සිතිය හැකිය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික පදනම විග්‍රහ කළවිට වෙනත් පැරණි ශිෂ්ඨාචාරයක ඇසුර නොමැතිව ආර්ය ශිෂ්ඨාචාරයට බුදු දහම වැනි දර්ශනයක් බිහිකළ හැකි බව පිළිගත නොහැකිය. සෘග් ‍වේදයේ සදහන් ආගමික අදහස් යජුර් ‍වේදය, සාම ‍වේදය, අථර් ‍වේදය, යන වෛදික ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 1500 සිට ක්‍රි.පූ. 900 තෙක් වෛදික චින්තනය තනිකරම ස්භාවික වන්දනාවකි. නමුත්, ඓතරේය බ්‍රාහ්මණය වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 900 න් පසුව වෛදික ආර්යන් ඒක දේව වාදයක් සකස් කරගෙත ඇති බව පැහැදිළිය. ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගයේදී එම ඒක දේවවාදය තාර්කික පදනමකින් තහවුරු කර, දාර්ශනික අගයකින් යුතු ව සකස් කිරීමට වෛදික ආර්යන් කටයුත කර ඇත. නමුත් ක්‍රි.පූ. 1500 දී පටන් ගන්නා සෘග් වෛදික යුගයේ සිට ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගය දක්වා සියලු කාලයන්හි වෛදික දර්ශනය මූලික වශයෙන් බාහිර වත් පිළිවෙත් මගින් ආත්ම විමුක්තිය පතන දේවවාදී වන්දනා ක්‍රමයකි.මෙබදු වෛදික ආර්යන්ගේ ස්වාධීන චින්තන ධාරාවක් මෙහෙයවී‍මේ ප්‍රථිඵලයක් ලෙස බුදු දහම පහල වූ බව පිළිගත නොහැකිය. බුදු දහම සිද්ධාර්ධ ගෞතම උතුමානන්ගේ තනි ප්‍රකාශනයක් බව සැබෑවකි. නමුත්, සෘග් සාහිතයේ සිට උපනිෂද් යුගය දක්වා වෛදික සංස්කෘතියේ ඉතිහාසය සියුම්ව පරීක්ෂාකළ කල්හි, වෛදික ආර්යන් අතරම සිටි වෛදික සංකල්ප වලට පටහැනි විකල්ප මත දැරූ ආර්ය කණ්ඩායම් පිළිබද තොරතුරු හමු වෙයි. මෙකී සාම්ප්‍රදායික ආර්ය මත විචාරයට ලක් කළ කැරළිකාර ආර්යන් ඉන්දියාවේ තිබූ පැරණි අනාර්ය ආගම් – දර්ශනවාද හදාරන්නට විය. මෙම පිරිස ජෛන, ආජීවක, බෞද්ධ ආදී වෛදික චින්තනයට පටහැනි දර්ශනවලට පදනම දැමූ බව නිසැකය.

ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.

බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.

එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී|ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
“ යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.

— අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය
සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා [1]

මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.

කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා), මරණයට පත් වීම, සෝක කිරීම, වැළපීම (පරිදේව), කායික දුක් (දුක්ඛ), මානසික දුක් (දෝමනස්ස), සුසුම් හෙලීම (උපායාස), ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ), අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම (අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව ගැඹුරෙන් සිතන කෙනෙකුට දැක ගත හැකිය.

මේ ධර්මයට ඇත්තේ එකම ඉලක්කයකි. එනම් සසර පැවැත්මෙන් මිදීම හෙවත් නිර්වාණය ළඟා කර ගැනීමයි. ධර්මයේ හරය විමුක්තියයි. ඒ සඳහා ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ වැඩ පිළිවෙලයි. එය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වඩා ගත යුතු ආකාරය කිසිඳු අඩුවකින් තොරවම දේශනාවල ඇතුළත්ය. මේ දහම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ළඟාකරගත හැකි (සංදිට්ඨික), තමා තුළින්ම අවබෝධ කළ යුතු (ඕපනයික) දහමක් නිසා මෙය ප්‍රඥාවන්ත මනුෂ්‍යයින්ට තම කල්පනාව මෙහෙයවන්නට සැබෑ අවස්ථාවක් සළසා දෙයි.

Advertisements

2 comments on “බුදු දහමේ ඉතිහාස‍ය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )