මහාවංශය

මහාවංශය (“මහා වංශ කථාව”) යනු ශ්‍රී ලංකාවෙහි රජවරුන් පිළිබඳව, පාලි භාෂාවෙන් ලියැවුනු, ඓතිහාසික කාව්‍යයකි. එය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රිපූයු 543 දී කාලිංගයේ (පුරාතන ඔරිස්සාව) විජය රජු ගේ ආගමනයෙහි සිට, මහාසේන රජු (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.

මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ලංකා සිවිල් සේවයෙහි නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්න්අවර් විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී විල්හෙල්ම් ගෙයිගර් විසින්, මහාවංශයෙහි ජර්මන් පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.

බුද්ධාගම

සිද්ධාන්තික ආගමික පුස්තකයක් ලෙසින් නොසැළකුණත්, මහාවංශය ථේරවාද බුද්ධාගමෙහි වැදගත් ග්‍රන්ථයෙකි. බුද්ධාගමෙහි ආදි කතෘ, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, ධර්මය විමර්ශනයට ලක්වුනු විවිධ බෞද්ධ සංගායනාවන් දක්වා, ඉන්දියාවේ බුද්ධාගමෙහි ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, “සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා” යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැ‍‍ඟෙන්නේ, අනුරාධපුරයෙහි මහාවිහාර සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි.

ඉතිහාසය

මහාවිහාරයෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රි.පූ. 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රි.පූ. 5වන සියවසෙහිදී, බෞද්ධ භික්ෂුවක් වූ මහාථෙර මහානාම විසින් සිදුකෙරිණි. විල්හෙල්ම් ගෙයිගර්ට අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව-සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, සාක්ෂි[කුමණ?] ඇත. දීපවංශය නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක.

සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූල වංශය (“සුළුතර වංශ කථාව”) නම් සාමායක වෙළුමක්, 4වන සියවසෙහි සිට 1815දී බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව අත්පත් කරගැනීම දක්වා කාල සීමාව ආවරණය කරයි. විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ කතෘවරුන් විසින් චූල වංශය සම්පාදනය කර ඇත.

සහස්‍රවර්ෂ දෙකක කාල සීමාවක් අවිච්ඡින්න ඓතිහාසික වාර්තාවක් සපයන හා, සමහරවිට සාමුහිකව මහාවංශය ලෙසින් හැඳින්වෙන සංයුක්ත කෘතිය, ලෝකයේ දීර්ඝතම නොබිඳුනු ඉතිහාස විස්තර අතුරින් එකක් ලෙස සැලකෙයි. අශෝක අධිරාජයාගේ මරණයට පෙර විෂය කොටස විශ්වාස කල නොහැකි සහ බොහෝ දුරට ප්‍රබන්ධමය වුවද, එය ලියැවුනු කාල සීමාව සැලකිල්ලට ගත් කල, කෘතියෙහි ඓතිහාසික නිරවද්‍යතාවය, විෂ්මයජනක බවට සැලකෙයි [2]. එනමුදු, මහාවංශයෙහි එම කොටස විජයගේ ජනප්‍රවාදගත ආගමනයට මත්තෙන් ලංකා ද්වීපයෙහි වැසියන් වූ නාගයන් සහ යක්කයන් පිළිබඳ කරුණු කාරණා අඩංගු ලේඛණයන් කිහිපය අතුරින් එකෙකි.

වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය. පරාක්‍රමබාහු රජතුමාගේ ඉංජිනේරු ක්‍රම එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න) මෙපරිදි මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. බුරුමයේ හා තායිලන්තයේ එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.

දේශපාලනික වැදගත් සිදුවීම්

දේශපාලන තොරතුරු අඩංගු ලේඛනයක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාවේද මහාවංශයට විශේෂ ස්ථානයක් හිමි වේ. බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වූ ජෝන් රසල් 1930 දී මහාවංශයට පහර දීමේ ක්‍රියාවලියක් ගැන විස්තර කළේය. විශේෂයෙන් එසේ සඳහන් කර ඇත්තේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරය ගැනයි. මහාවංශය සිංහල බෞද්ධ ඉතිහාසය අඩංගු ලේඛනයක් වීම නිසාම සිංහල ජාතීවාදීන්ට මෙන්ම දෙමළ ජාතිවාදීන්ට ද එය පෙනුණේ අග්‍රගණ්‍යයේ සිංහල වීර කාව්‍යයක් පරිද්දෙනි. 1930 දී දෙමළ ජාතිකාභිමානයෙන් යුතු ජී.ජී.පොන්නම්බලම් එයට පහර දුන්ණේය. ඔහු ප්‍රකාශ කර සිටියේ විජය, කාශ්‍යප, පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු දෙමළ ජාතිකයන් වූ බවයි. 1939 දී ජි.ජි.පොන්නම්බලම් විසින් නාවලපිටියේදී සිංහල ජනතාවට සහ මහාවංශයට පහර එල්ල කරමින් කළ උද්වේගකාරී දේශනය පළමු සිංහල-දෙමළ කැරලි කෝළාහලවලට වස්තු බීජය විය. මෙම කැරලි කෝළාහලවලට නාවලපිටිය, පස්සර, මස්කෙළිය සහ යාපනය ද ගොදුරු විය. මෙම කැරැල්ල ද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් ඉතා ඉක්මණට මැඩ පවත්වන ලදී.

බොහෝ ලේඛකයෝ මහාවංශයේ සදාචාරය ගැන ප්‍රශ්න කරති. දුටුගැමුණු රජු එළාර සහ ඔහුගේ හමුදාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුක් වී යයි මහාවංශයේ එන විස්තර ගැන සැකයෙන් බලති. ආක්‍රමණිකයන් ඝාතනය කිරීම “පව්කාරයින් සහ වන සතුන් මැරීම ” හා සමාන යයි මහාවංශය කියයි. එසේ කියා රජුගේ දුක සහ සන්තාපය සමනය කර තිබේ. සමහර විවේචකයන් මෙය සලකා ඇත්තේ ආචාර ධර්ම විද්‍යාවේ වැරැද්දක් ලෙසිණි. බුදු දහමේ පාපී ක්‍රියාවන්ගේ ප්‍රථිපලවල අනුපිළිවෙලක් පෙන්වා දී ඇත. එයට අනුව රහතන් වහන්සේ නමක් මැරීම සාමාන්‍ය පුද්ගලයෙකු ඝාතනයට වඩා පාපී ක්‍රියාවකි. බෞද්ධාගම අදහන්නෝ ප්‍රකාශ කරන්නේ කූඹීයෙකු මැරීමට වඩා අලියෙකු මැරීමෙන් පව වැඩි වන බවයි. මේ ආකාරයේ සිතිවිලි හින්දු මනු නීතියේ ද තිබේ. එහිදී බ්‍රාහ්මණයෙකුට හිරිහැර කිරීමත්, චණ්ඩාලයෙකුට එසේ කිරීමත් අතර ප්‍රථිපලයේ විශාල පරතරයක් ඇත. එසේම බිලි පූජා සඳහා සතුන් මැරීම හින්දු චාරිත්‍රවලට එකඟය. ඒ අනුව මහාවංශය බෞද්ධ ආචාර ධර්මවලට සාධාරණය ඉටු කර ඇත. දුටු ගැමුණු රජු ඔහුගේ ක්‍රියාවන් ගැන දුක් විය. අශෝක අධිරාජයා ද බිහිසුණු යුද්ධවලින් පසු යුධ විරෝධියෙකු වූ බව පෙන්වා දීම අනුව දුටුගැමුණු ද එසේ කිරීම අවශ්‍ය විය.

මහාවංශය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ කැපී පෙණුනු ඉතිහාසඥයෙකු නම් කාර්තිගේසු ඉන්ද්‍රපාලයි. මහාවංශය සිංහල බෞද්ධ දේශානූරාගී කරුණු අඩංගු කෘතියකැයි යන ජනප්‍රිය මතය වැරදියයි ඔහු තර්ක කළේය. එසේම මහාවංශය ලේඛකයා ඔහුගේ ඉදිරිපත් කිරීමේදී පුදුමාකාර ලෙස සාධාරණ වී ඇති බවද කියයි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික දේශපාලඥයින් ඔවුන්ගේ පටු අරමුණු සඳහා එය තවදුරටත් හොඳ අතට හෝ නරක අතට පාවිච්චි කරනවා ඇත.

Advertisements

භික්‍ෂුණී ශාසනය

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂා සමාදන්ව ඒවා ආරක්‍ෂා කිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම කාන්තාවෝ සසුන් ගත වී මහණදම් පිරීමට කැමැත්ත දැක් වූවා ය. සුද්ධෝධන මහ රජ තුමාගේ අභාවයෙන් පසු යශෝධරා දේවිය පැවිදි බව ලබා ගැනීමට උත්සාහ කළා ය. එම අවස්ථාවේ දී මහා ප්‍රජාපතී ගෝතමී, දියණියනි! මම බුදුරජාණන් වහන්සේගේ මවු බවට පත්වීමි. ඒ මටත් තෙවරක් ඉල්ලා සිටියත් උතුම් පැවිද්ද නොලැබිණි. මම ගොස් පළමුව කෙසේ හෝ පැවිද්ද ලබන්නෙමි. ඔබ පසුව පැවිදි වුව මැනවයි කීවා ය.

මේ කාලයේ දී ශාක්‍ය සහ කෝලිය දෙවංශය අතර යුද ගැටුමක් ආරම්භ විය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දෙ පිරිස අතරට පැමිණ දහම් දෙසූහ. ඒ සද්ධර්මය ඇසීමෙන් ශාක්‍ය වංශික කුමාරයෝ පන්සියයක් දෙනා සසුන් ගත වූහ. අනතුරුව ඒ ශාක්‍ය කුමාරයන්ගේ භාර්යාවෝ ද සසුන් ගතවීමට කැමැත්ත දක්වා මහා ප්‍රජාපතී ගෝතමී දේවීය සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ වසන නීග්‍රෝධාරාමයට ගොස් උන්වහන්සේගෙන් පැවිදි වීමට අවසර පැතුවා ය.

එම කාලය භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීමට තරම් සුදුසු කාලයක් නොවූ බැවින් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. එයින් අධෛර්යට පත් නොවූ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස කහවත් හැඳ බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් වාසය කළා ය.

බුදුරජාණන් වහන්සේ පස් වන වස විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි වැඩ වාසය කරමින් සිටියහ. එම අවස්ථාවේ දී මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස විශාලා මහනුවරට ගොස් ආනන්ද හාමුදුරුවන් හමුව ඔවුහු පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් එහි පැමිණි බව උන්වහන්සේට දැන්වූහ. එවිට ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස!

යම් ස්ත්‍රියක් මේ සසුනේ පැවිදිව විදසුන් වඩයි නම් සෝවාන් ආදී මඟඵලයන්ට පැමිණිය හැකි නොවන්නේ දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ, ආනන්දයනි! යම් ස්ත්‍රියක් පැවිදිව වීර්ය වඩන්නේ නම් ඇයගේ ස්ත්‍රී බව මඟඵල ලබන්නට බාධාවක් නොවේ යැයි වදාළහ. එසේ වී නම් ස්වාමීනී! ස්ත්‍රී වර්ගයාගේ යහපත පිණිස ස්ත්‍රීන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දෙන සේක්වා! ඔබ වහන්සේගේ සුළු මව් වූ මහා ප්‍රජාපතී ගෝතමිය පන්සියයක් කුමාරිකාවන් සමග පැමිණ සිටී. ඔවුන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන සේක්වායි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. එසේය ආනන්දය!

එසේ නම් ඔවුන් පෙර බුදුවරයන්ගේ දවස ශ්‍රාවිකාවන් පිළිගත් ගුණධර්ම අට පිළිපැදිය යුතු ය.ඒ ගුණධර්ම අට පිළිගැනීමෙන් ම ඇයට මහණ උපසම්පදාව පිහිටන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එයින් පසු මහා ප්‍රජාපතී ගෝතමී ඇතුළු කාන්තාවෝ බුදුරජාණන් වහන්සේ පැන වූ ගරු ධර්ම අට පිළිගත්හ. එයට ඔවුන්ට පැවිද්ද උපසම්පදාව විය. මෙය කාන්තාවන් ගේ පැවිදිවීමේ ආරම්භයයි.

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මහා ප්‍රජාපතී රහත් මෙහෙණිය අනෙක් රහත් භික්‍ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරට පත් වූවා ය. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂාවන් සමාදන්ව ඒවා ආරක්‍ෂාකිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය. එය ලබාගත යුත්තේ භික්‍ෂු භික්‍ෂුණී සංඝයා ඉදිරියේ ය. නවක භික්‍ෂූණීන් ආචාර්ය උපාධ්‍යාය භික්‍ෂුණීන් ඇසුරෙහි දෑ අවුරුද්දක් ශාසනික ප්‍රතිපදා ප්‍රගුණ කළ යුතු ය.

භික්‍ෂුණීන් ගේ එදිනෙදා කටයුතු සමාජයේ ප්‍රසාදයට හේතුවන පිණිස විනය ශික්‍ෂාවන් තුන්සිය පහක් බුදුරජාණන් වහන්සේ විසින් පැන වූ සේක. භික්‍ෂුණීන් සඳහා භික්‍ෂුණී ප්‍රාති මෝක්ෂයද වදාළහ. මෙහෙණි සස්න ක්‍රමයෙන් දියුණු වී භික්‍ෂුණීන් වහන්සේ භික්‍ෂූන් ලත් වරප්‍රසාද ද ලබා ගත්හ. ඒ අනුව ඛේමා, උප්පලවන්නා භික්‍ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවෝ වූවා ය. පටාචාරා තෙරණිය විනය ධර තනතුර ලැබුවා ය. මහා ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ එක්සිය විසි වසක් ආයු වැළඳූහ. අවසානයේ දී පිරිනිවන් පෑමට මට අවසර දුන මැනවි යනුවෙන් ඉල්ලා සිටියා ය.

ලක්දිව භික්‍ෂුණී ශාසනය

මිහිඳු මහරහතන් වහන්සේ විමාන වත්ථු, පේත වත්ථු ආශ්‍රයෙන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසූහ. එම ධර්මය ඇසීමෙන් මහානාග යුවරජතුමාගේ බිසව වූ අනුලා දේවිය සෝවාන් වූවා ය. එයින් පසු අනුලා දේවිය තමන් පැවිදි කරන ලෙස ඉල්ලා සිටියා ය.

එවිට මිහිඳු මහ රහතන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීමට තමාට අවසර නැති බවත්, ඒ සඳහා තමාගේ සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය මෙහි කැඳවන බවත් ප්‍රකාශ කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය ලක්දිවට එවන ලෙස දන්වා අරිට්ඨ ඇමැති අත අශෝක රජතුමාට සන්දේශයක් යැවූහ. ඒ බව මහාවංශය මෙසේ සඳහන් කරයි. “රාජ ශ්‍රේෂ්ඨයන් වහන්ස! නුඹ වහන්සේ ගේ යහළු රාජාණන් සහෝදරයාණන් ගේ දේවී තොමෝ පැවිදි පතමින් නිබඳ සංයම ඇතිව වසන්නීය. ඒ දේවී පැවිදි කරුණු පිණිස සංඝමිත්‍රා නම් මෙහෙණින්න මෙහෙයව.” මහා වංශය, 18 පරිච්ඡේදය 76 පිටුව, හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම කොළඹ 1946 අරිට්ඨ ඇමැති එම හසුන සංඝමිත්තා තෙරණියට ද දැන් වූ පසු එතුමිය පිය රජු වෙත පැමිණ,

“ඒ ස්ථවීර තොමෝ පිය මහ රජාණන් කරා එළඹ, මහරජාණනි! මාගේ සහෝදරයාණන් ගේ වචනය මට ගරුය. පැවිදි කටයුත්තියෝ ද බොහෝය. එහෙයින් මා විසින් එහි යායුතුයයි, ඕ තොමෝ කීවා ය. මහාවංශය 77 පිටුව. එයින් පසු සංඝමිත්තා තෙරණිය සමඟ උත්තරා, හේමා, මසාරගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓන්ගු, මත්තා මල්ලා සහ ධම්මදාසී යන භික්‍ෂූණීන් වහන්සේ සමඟ ලක්දිවට පැමිණියාය. (දීපවංශය) තවද පසු කාලයේ දී මෙරටට භික්‍ෂුණීන් වහන්සේ විසි දහසක් පමණ පැමිණි බව ද සඳහන් වේ. සංඝමිත්තා තෙරණිය පැමිණි පසු අනුලා දේවිය ඇතුළු පිරිස මහණ උපසම්පදාව ලැබුවා ය. මෙයින් පසුව කාන්තාවෝ සිය ගණනින් සසුන් ගත වූවා ය. රජතුමා ඉදිකළ මෙහෙණවර ඉඩ මද වූ බැවින් ඒ ආශි‍්‍රත ගොඩනැඟිලි දොළහක් රජතුමා විසින් ඉදිකරන ලදී. තිස් වසරක් ලංකා සාසනයට සේවයක් කළ සංඝමිත්තා තෙරණිය උත්තිය රජ දවස, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසරකට පසු හත්ථාහල්ලක මෙහෙණවරෙහි පිරිනිවන් පෑහ. ඒ බව මහාවංශයෙහි මෙසේ සඳහන් ය.

සංඝමිත්තා තෙරණිය සමඟ මෙහි පැමිණි භික්‍ෂුණීන් වහන්සේ ත්‍රිපිටකධර වූහ. විනය ධර වූහ. මේ අයගෙන් සමහරෙක් අනුරාධපුර, සහ රෝහණ දේශයේ ත්‍රිපිටකය සහ විනය ඉගැන්වූහ. උත්තරා තෙරණිය එයින් එක් තෙරණියකි. අනුලා තෙරණියගෙන් ආරම්භ වූ ලාංකික භික්‍ෂුණී සමාජය ක්‍රමයෙන් වර්ධනය විය. සාමා, ධම්මා, මහිලා, නරමිත්තා, සානා සහ උත්තරා යන භික්‍ෂුණීන් වහන්සේ ගුණවත් නැණවත් අය වූ බව දීපවංශය සඳහන් කරයි. කාවන්තිස්ස සහ සද්ධාතිස්ස යන රජවරුන්ගේ දියණිවරු පැවිදි වී සිටියහ. සමුද්ධා, නාවා, දේවී සහ සීවලී යන භික්‍ෂුණීහු රජ දියණිවරු වූහ. දුටුගැමුණු රජතුමා කළ මිරිසවැටි පූජා උත්සවයට භික්‍ෂුණීන් වහන්සේ අනුදහසක් සහභාගි වූ බව මහා වංශයේ සඳහන් වෙයි.

“ඒ නරෙශ්වර තෙම විහාර පූජා කරනයෙන් සංඝයා රැස් කරවූයේ ය. එ දවස රැස් වූ භික්‍ෂූන් ලක්‍ෂයක් වූහ. භික්‍ෂුණීහුද අනුදහසක් වූහ.” මහා වංශය 26 පරිච්ඡේදය 109 පිටුව. මෙම භික්‍ෂූණී සංඛ්‍යාව පිළිබඳව ථූපවංශයේ ද සඳහන් වෙයි. එහි දක්වන පුවත මෙසේ ය.

“එසේ ලවන ලද මඩුවෙහි ලක්‍ෂයක් පමණ භික්‍ෂූන් වහන්සේ ද අනූදහසක් පමණ භික්‍ෂුණීන් වහන්සේද වඩා හිඳුවා අතැපැන් වත්කොටැ භික්‍ෂූන් වහන්සේට මහ දන්දී සිවුරු ආදී සියලු පිරිකර දුන්හ.

ශ්‍රී ලංකාවේ බොදු සංස්කෘතිය – මහින්දාගමනය

බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පෝ දිනෙක මිහිඳු මාහිමියන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මදූත පිරිසේ ලංකාගමනය සිදු විය. මහින්දාගමනයෙන් සමාජ විපර්යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක් මෙන් ම චින්තන ප‍්‍රබෝධයක් ද ඇති විය. අනුරාධපුර මිහින්තලා පව්වෙන් පැන නැඟී ශ‍්‍රී ලංකාවේ දස දිසාවට පැතිර ගිය නිර්මල බොදු දහම නිසා තිස්ස රජු ඇතුළු රටවැස්සෝ බෞද්ධයන් බවට පත්වූහ. සිංහල සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය යනු දෙකක් නොව එකක් යැයි තහවුරු වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන නිසා ය.

ශ‍්‍රී ලංකාද්වීපය නව බොදු සංස්කෘතියකට අනුව හැඩගැසුණේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය නිසයි. පොසොන් පුර පොහෝ දිනක සිදුවූ මෙම සුවිශේෂ ඓතිහාසික සිදුවීම නිසා ලාංකිකයෝ අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කීමට සමත්ව සිටිති.

අනුබුදු මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කිරීමට පෙර මෙරට වැසියෝ විවිධ මිසදිටු ඇදහීම්වල නියුතු වූහ. ගස් ගල් පර්වත අව් වැසි සුළඟාදී ස්වභාවික වස්තු මෙන්ම යක්ෂ හා නාග වන්දනාව, මළවුන් ඇදහීම, දෙවියන් ඇදහීම ආදී වත්පිළිවෙත්හි ලක්වැසියෝ නිරතව සිටි බව මහාවංශය හා දීපවංශය යන වංශකතාවන්හි සඳහන් වෙයි.

භාරතයේ රජකළ ධර්මාශෝක රජු දිග්විජය ප‍්‍රතිපත්තිය අත්හැර ධර්ම විජය ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමඟ රජු බුදුදහමට අනුව කි‍්‍රයා කරන දැහැමි රජෙක් බවට පත්විය. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ රජු ශාසනික පාරිශුද්ධිය ඇති කළේය. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය. තම දුවත් පුතාත් පැවිදි කළේය. රටවල් නවයකට ධර්ම දූත පිරිස් පිටත්කර යැවීය. ඒ අනුව ලක්දිවට එවන ලද්දේ මිහිඳු මාහිමියන් ඇතුළු ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක යන දූත පිරිසයි.

පොසොන් පුර පොහෝ දිනය ලක්දිවට මිහිඳු මාහිමියන් ඇතුළු දූත පිරිස පැමිණෙන විට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මුව දඩයමෙහි නිරතව සිටියේය. රටවැසියන් ද පොසොන් සැණකෙළියෙහි නිරතව සිටි බව සඳහන් වේ. එහිදී අනුබුදු මිහිඳු මාහිමියෝ රජු අමතා

සමණාමයං මහාරාජ – ධර්ම රාජස්ස සාවකාතමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගත

යන ගාථාව ප‍්‍රකාශ කළහ. එහි අර්ථය වන්නේ “මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු” යනුයි.

එහිදී රජු අනුබුදු මාහිමියන් කෙරෙහි පැහැදීමට පත්වූ අතර තම අත තිබූ දුනු ඊතල පසෙකලා උන්වහන්සේට වන්දනා කළේය. පසුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එහි තිබූ අඹ ගස මුල් කරගනිමින් රජුගේ බුද්ධිය විමසීම සඳහා ප‍්‍රශ්නාවලියක් හා රජුගේ ඥාතීන් පිළිබඳව ප‍්‍රශ්නාවලියක් ද විමසූහ. එයට නිසි පිළිතුරු දුන් රජු තම බුද්ධි මහිමය ප‍්‍රකට කළේය. රජුගේ පුළුල් ඤාණය පිළිබඳ වටහාගත් අනුබුදු මිහිඳු මාහිමියෝ පසුදින රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙන් දම් දෙසූහ. රජු ඇතුළු පිරිස ධර්ම ඤාණය ලබාගත් අතර පසුව සමචිත්තපරියාය, ආදිත්තපරියාය, දේවදූත, විමානවත්ථු, පේතවත්ථු, සච්චසංයුක්ත ආදී සූත‍්‍ර දේශනා රැසක් ලක්වැසියන්ට දේශනා කළහ.

දෙවනපෑතිස් රජුගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අරිට්ඨ ඇමැතියා පැවිදි වීමත් සමඟ ලාංකීය භික්ෂු සසුන ද සංඝමිත්තා ගමනයෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිවීමත් සමඟ ලාංකීය භික්ෂූණී සසුන ද ආරම්භ විය. ලක්දිව දස දෙස වෙහෙර විහාර ආරාම ගොඩනැඟෙන්නට වූ අතර ඒ තුළින් පන්සිල් සුරකින ජන සමාජයක් මෙරට බිහිවිය. ගස්, ගල්, පර්වත, මළවුන් ආදී මිථ්‍යා වැඳුම් පිදුම් වෙනුවට තෙරුවන් වන්දනා චෛත්‍ය හා බෝධි වන්දනා දෙවියන්ට හා මළවුන්ට පිංදීම් වැනි සමිදිටු වැඳුම් පිදුම් ක‍්‍රම බිහිවිය.

ගමයි පන්සලයි වැවයි දාගැබ යන තේමාවට අනුව බෞද්ධ ජන සමාජයක් බිහිවිය. පංච දුෂ්චරිත කි‍්‍රයා අතහැර තම දිවි පැවැත්ම සඳහා බුදුරදුන් අනුදත් පංචසීලය සුරකින ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් කෘෂිකාර්මික දිවිපෙවෙතකට ලක්වැසියෝ හුරුපුරුදු වූහ.

ගමේ පන්සල මුල්කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් මෙරට බිහිවූ අතර පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමයක් ද ඇතිවිය. බුත්සරණ, අමාවතුර, ජාතක පොත, සද්ධර්මරත්නාවලිය ආදී වටිනා කෘති රැසක්ම රචනා වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. අනුරපුර මහා විහාරය ඉදිකිරීමෙන් පසු නව ගෘහ නිර්මාණ ශිල්පද බිහිවන්නට විය. තවද මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ සංඝමිත්තා ගමනයත් සමඟ දහ අට කුලයක කලා ශිල්පීහු ලක්දිවට පැමිණියහ. ඔවුහු ලක්දිව දස දෙස ගෘහ නිර්මාණ කැටයම් චිත‍්‍ර මූර්ති ආදී කලා කෘති බිහිකළහ. ලෝවාමහාපාය, සඳකඩපහන, සමාධි බුදුපිළිමය ආදී ශිල්ප දෙස බලනවිට ලොව මවිතයට පත් කළ නිර්මාණ සිරිලක බිහිවී ඇත.

මිනිස් සමාජයේ අධ්‍යාත්මික ගුණ වගාවෙහි පුළුල් ප‍්‍රගතියක් ඇතිවන්නට විය. රටවැසියෝ මෙන්ම රාජ්‍ය නායකයින් ද නිති පන්සිල් පොහොය අටසිල් රැකීමට පුරුදු වූහ. තම රාජ්‍යත්වය ශ‍්‍රී මා බෝධිය, දළදා වහන්සේ වැනි පූජනීය වස්තූන්ට පූජා කරන්නට වූහ. රාජ්‍ය පාලකයා යනු දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බෝධිසත්වයෙකු ලෙස ද හැඳින්විය. ලක් වැසියන්ටම ආදර්ශයක් වනසේ කටයුතු කළ රජවරු තම නම් ද බෞද්ධ නම් බවට පත්කරගනු ලැබූහ. සද්ධාතිස්ස, කාශ්‍යප, මුගලන්, ධාතුසේන, මිහිඳු, සිරිසඟබෝ, බුද්ධදාස ආදී රාජ්‍ය නම්වලින් ඒ බව පැහැදිලි වෙයි.

මුළු මහත් සමාජයම ගිහි පැවිදි වශයෙන් කොටස් දෙකක් වශයෙන් ආධ්‍යාත්මික ප‍්‍රගතිය අනුව වෙන් කෙරුණු අතර එය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසක් බවට ද පත්වූහ. ලක්දිව දස දෙස වෙහෙර විහාර ඉදිවූ අතර ඒ අනුව ලක්ජන සමාජය දැහැමි බොදු සමාජයක් බවට පත්විය.

අනුරාධපුර යුගයේ රජකම්කළ බොහෝ රජවරු අවිහිංසාවාදී බෝසත් ප‍්‍රතිපත්ති අනුගමනය කළ අතර පොළොන්නරුව, දඹදෙණිය, කෝට්ටේ ආදී යුගවලදී ද එබඳු බෝසත් රජවරු බිහිවන්නට වූහ. ඇතැම් අවස්ථාවල පරසතුරු උපද්‍රව මෙරටට ඇතිවූ අතර එහිදී සම්බුදුරදුන්ගේ පාත‍්‍ර ධාතුවත්, දළදා වහන්සේත් රැක ගැනීමට දිවි හිමියෙන් රජවරු කි‍්‍රයා කළහ. මෙරට රාජ්‍යත්වය ලැබීමේ ප‍්‍රධාන සංකේත බවට පත්වූයේ පාත‍්‍ර ධාතුව සහ දළදා වහන්සේය.

පොසොන් පුර පොහෝදා සිදුවූ මහින්දාගමනය නිසා බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය ලෙසද අප රට පත්වූ අතර විදේශීය ආක‍්‍රමණ හේතුවෙන් අද ඇතැම් වෙනස්කම් ඇති වුවද තවමත් අප රට බෞද්ධ රටක් ලෙසම ආගමට දහමට ලැදි ජනසමාජයක් පවතී. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිකරමින් පොසොන් පුර පොහෝදා මුළු මහත් සිරිලක පුරා සීල සමාදාන, බුද්ධ පූජා හා බෝධි පූජා, තොරන්, දන්සැල්, පෙරහර, වැඩිහිටි උපස්ථාන, වන්දනා ගමන්, දානමය පිංකම් ආදිය පැවැත්වෙයි.

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය බොදු සංරක්ෂණ පදනමේ සභාපති විතාරන්දෙණියේ වජිරවංශ හිමි

බෞද්ධ ධර්ම සංගායනා

ප්‍රථම ධර්ම සංඝායනාව

අලං ආවුසො මා සෝචිත්‍ථ, මා පරිද්විත්‍ථ, සුමුත්තා මයං තෙන මහා සමණෙන, උපද්දුතා හොම, ඉදං වො කප්පති ඉදං වො න කප්පතී ති ඉදානි මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම යං න ඉච්ඡිස්සාම තං න කරිස්සාමාති…’ යනාදි වශයෙන් සුභද්‍ර නම් මහලු පැවිද්දකු විසින් කියන ලද අවිනීත වචන ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලී ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

කවර ආයතනයක වුව ද දීර්ඝකාලීන හා ක්‍රමානුකූල පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්ෂක විධි විධාන යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ප්‍රථම ධර්ම සංඝායනාවද එවැනි වැඩපිළිවෙළක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ක්‍රමානුකූ®ලව සකස් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංඝායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධිය යනු ඇත. ශාස්තෘ වියෝවෙන් වැළපෙන භික්ෂූන් වහන්සේ අමතා ‘ඇවැත්නි, ශෝක නොකරව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුනෙමු. මෙය තොපට සුදුසු ය. මෙය තොපට නුසුදුසු යැයි ඔහුගේ නීති රීතිවලින් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමැති නම්, එය කරමු’ යැයි පැවසූ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය පමණක්ම මේ සංගීතය පැවැත්වීමට හේතු වී යැයි සිතීම දුෂ්කර ය. මෙය වූ කලී එදා වැඩ සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහතෙරවරුන් විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් ලෙස සැළකීම වඩාත් නිරවද්‍ය ය. දේවදත්ත, ජබ්බග්ගිය, ඡන්න වැනි භික්ෂූන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ද සිටි අතර අගසව් තනතුරු පැවරීමේදී පවා විරුද්ධව නැගී සිටි පිරිසක් එදා සිටි බව පැවසේ. ධම්මපදට්ඨ කථාවේ සඳහන් වන අගසව් වතෙහි මේ පිළිබඳ විස්තරයක් දක්නට ලැබේ. ‘බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති’ යි භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණය කළ බව එහි සඳහන් වේ. අස්සජී, පුතබ්බසුඛ යන භික්ෂූන් වහන්සේ දෙපළ එසේ ක්‍රියා කළ අය වෙති. එක් අවස්ථාවක ආරාම පිළිබඳ අවුලක් නිසා සැරියුත්, මුගලන් දෙනම පාපී පුද්ගලයෝ භ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බව චුල්ලවග්ග පාලියේ හයවැනි ඛන්ධකයේ සඳහන් වේ. ඇතැම් විචාරකයන්, සංඝායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූල බීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි ඉදිරිපත් කරන මතය, පිළිගත යුතු සත්‍ය එකක් සේ නොපෙනෙයි.

එදා සංඝ සමාජයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතැම් භික්ෂූන් තුළ පැවැති දුර්මත නිරාකරණය කිරීමටත්, බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද ධර්මය විසිරී ගොස් නා නා වර්ගවලට අයත් මල් රැසක් සේ පැවැති ධර්ම කොට්ඨාස ක්‍රමානුකූලව පිළියෙල කොට බොහෝ කල් පැවැත්මත් සඳහා ධර්ම සංඝායනාවක් පැවැත්වීමට අදහස් කල බව සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර, මහාකාශ්‍යප හිමියන් අමතා පිටක රැස්කොට තබන ලෙස වදාළ බවත්, එය සුරකින ලෙස දෙවියන්ට භාරකළ බවත් අශෝකාවාදනයේ සඳහන් වෙයි. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන යන මහා තෙරවරු බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කර තැබීමට කතිකා කර ගත් බවත්, ඒ අනුව ආනන්ද මහ තෙරණුවන්ගේද සහාය ලබාගෙන ධර්මය උණපතුරුවල හා සිල්ක් රෙදිවල ලියා තැබූ බවත් චීන බසට පරිවර්තනය කරන ලද පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. කෙසේ වුවද සුභද්‍රගේ ප්‍රකාශය එය කල් පසු නොකොට සිදුකිරීමට හේතු වූවා යැයි නිසැක ය. මෙම කාර්යය සඳහා මහතෙරවරුන් පෙළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතුද තිබිණැයි සැලකීමට කරුණු තිබේ. ඒ අතර සංඝභේදය, දෙවිදත් තෙරුන්ගේ අභියෝග, විවිධ මතධාරී භික්ෂූන් ඇතිවීම පරම්පරා ක්‍රමය, විනය පිළිබඳ මතභේද, ධර්මය ඒකරාශී කිරීම, ධර්ම විනය රැක ගැනීම, යන කරුණු අයත් ය.

බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ භික්ෂූ සමාජයට මුල් අවධියේ දී ඇතුළත් වූයේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සැදැහැයෙන් යුතුව පැවිදි වූ අය යි. ඒ පිරිස් විමුක්ති සාධනයටම උනන්දු වූ අය විය. පසුකාලීනව ශාසනයට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ඉසිලීය. ජබ්බන්තිය, සත්ත රසවග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් පසුව බිහි විය. මූලික බුද්ධ වචනයට පටහැනිව ක්‍රියාකළ බොහෝ භික්ෂූන් වහන්සේගේ විසමාචාර ගැන චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකේ ද විශේෂයෙන් පාරාජිකා පාලියේ ද සෙසු සුත්‍රාන්තවලද සඳහන් වෙයි. භික්ෂු සමාජයේ සමගිය බිඳී ගිය පළමු අවස්ථාව වුයේ කොසබෑ නුවර ධර්මධර, විනයධර භික්ෂූ කණ්ඩායම් දෙකේ ගැටුමයි. මෙය ධර්ම විනය පිළිබඳ ;පෟද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම භික්ෂූන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. දේවදත්ත තෙරුන් විසින් ඇති කරන ලද සංඝ භේදය භික්ෂු සමගිය දෙදරා ගිය තවත් අවස්ථාවකි. පංච වරයක් ඉල්ලීමත් සමග ඇති වූ මෙම ගැටුම නිසා සංඝ සමාජය තුළ ආකූ®ල- ව්‍යාකූල තත්ත්වයක් හටගත් අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ මුල්ව ක්‍රියා කළ නමුත්, ප්‍රශ්නය එයින් නිම වූයේ යැයි සිතිය නොහැකි ය. විවිධ ලෙස භික්ෂූන් භේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දෙව්දත් තෙරුන් ගෙන ගිය මෙම අර්බුදකාරී ක්‍රියා මාර්ගය දෙවිදත් තෙරුන්ගේ අපවත්වීම තෙක්ම පැවතිණැයි සිතිය හැකි ය.

‘බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්ත්වයින් උදෙසා දෙසාලූ හෙයින්, දැන් මම ධර්ම සංඝායනාවක් කරවනු කැමැති වෙමි. යනුවෙන්, ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශි කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංඝායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස් අතර බොහෝ අර්බුදකාරී තත්ත්වය හට ගැනිණි.

ඒ බව දැනගත් සැරියුත් මහ තෙරණුවෝ භික්‍ෂූන් වහන්සේ අමතා, තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වාක්ඛාත වූ – නෛර්යාණික වූ සද්ධර්මය බොහෝ ජනයාගේ හිත සුව පිණිසත්, ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කළ යුතු බව පෙන්වා දෙති. විවාද නොකළ යුතු බවත් උන් වහන්සේ පවසති. ඉන් පසුව සැරියුත් තෙරණුවෝ අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වී ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කළහ. උන් වහන්සේ ධර්මය සංගායනා කළ අන්දම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් විය.

බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ කොට පැවතිය යුතු එක් භික්‍ෂුවක් හෝ උන් වහන්සේ විසින් පත් කොට නැති බවත්, ඒ අනුව තම ශාස්තෘවරයාගේ සම තත්ත්වයෙහිලා සැලකෙන ධර්ම විනය ආරක්ෂා කර තැබීම සඳහා ධර්ම සංගායනාවක් වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාව ශාසන භාරධාරී මහ තෙරවරුන් තුළ තිබුණා විය හැකි බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයට අයත් කරුණු වලින් සනාථ වෙයි.

සංගායනාවක් පැවැත්වීමට සංඝ සම්මතය ලැබූ මහා කාශ්‍යාප තෙරුන් වහන්සේ විසින් සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේ හාරසිය අනූනම නමක් (499) තෝරා ගන්නා ලදී. ආනන්ද තෙරුන් වහන්සේ සංගායනාවට අත්‍යවශ්‍ය තෙරනමක් විය. එසේ වුවත් ඒ වන විට රහත් නොවී සිටි උන් වහන්සේ තමන් විසින්ම තෝරා ගනු ලැබීමෙන් තමන් පක්ෂ භජනය කළේ යැයි චෝදනාවක් නැගීමට ඉඩ තිබුණු බව උන්වහන්සේට වැටහිණි. මහා කාශ්‍යප හාමුදුරුවෝ එම චෝදනාවෙන් මිදී සංඝයා වහන්සේගේ කැමැත්තෙන්ම ආනන්ද තෙරුන් පත්කර ගැනීමට ඉඩ තබා එක් නමක් අඩුවෙන් පන්සිය නමක් තෝරා ගත්තේය.

සංඝයාගේම කැමැත්තෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ සඳහා තෝරා ගැනුණු අතර උන් වහන්සේද සංගායනා දිනට පෙර දින අරහත් ඵලයට පැමිණි නිසා රහතන් වහන්සේ පන්සිය නමකගේ සහභාගිත්වයෙන්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය විය.

එළැඹි වස් කාලය තුළ දීම සංගායනාව පැවැත්වීමට තීරණය විය. සංගායනාව පැවැත්වීමේ දී අජාසත් රජුගේ ආරක්ෂාව ලැබෙන හෙයින්, රජගහනුවර සප්ත පර්ණි ගුහා දිවාරයෙහි එය සිදු කිරීමට මහා කාශ්‍යප හිමියන් විසින් තීරණය කරන ලද අතර, රජගහනුවරම එය පැවැත්වීමට හේතු වූ කරුණු අතර රාජකීය බලය හා ආරක්ෂාව ලබා ගැනීමේ අවශ්‍යතාව ද එක් හේතුවක් විය. එමෙන්ම අජාසත් රජු දවස වන විට අන්‍ය බෞද්ධ රාජධානි බොහෝ දුරට පිරිහී තිබීමත් රජගහනුවර පමණක් තරමක් සමෘද්ධිමත්ව පැවැතීමත් නිසා රජගහනුවරම මේ සඳහා තෝරා ගත් බවත්, සමහර උගතුන්ගේ මතය යි. නිකිණි මස අව දියවක් දා සප්ත පර්ණි ගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවන ලද මණ්ඩළපයට භික්ෂූන් වහන්සේ රැස්වූහ. ආනන්ද හාමුදුරුවන් වහන්සේටද අසුනක් තබා අනෙක් හාමුදුරුවන් වහන්සේ අසුන් ගත්හ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එදින අලුයම රහත් බව ලබා සභා ගැබට පැමිණ අසුන් ගත්හ. ඉක්බිති මහා කාශ්‍යප හාමුදුරුවෝ ‘සුනාථ මේ ආවුසො සංඝො යදි සංඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ජෙය්‍යං…’ යනුවෙන් සංඝයාට දන්වා, පළමුවම උපාලි හිමියන්ගෙන් විනය ප්‍රශ්න විචාලහ. නිදාන, පුග්ගල, වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්තර සහිතව භික්ෂු, භික්ෂුණි, ප්‍රාතිමෝක්ෂ, ශික්ෂාපද සියල්ලම පුච්ඡා විස්සජ්ජන ක්‍ර‍්‍රමයෙන් විනය සංගායනා කළහ.

ඉන් අනතුරුව ධර්ම සංගායනා කිරීම ආරම්භ කරන ලදී. එහිදී පංච නිකායම සංගායනා කැරිණි.

සූත්‍ර පිටකයෙහිම අභිධර්මයට අයත් කරුණු ඇතුළත්ව පැවැති නිසා අභිධර්මය ද සංගායනා වූ බව තේරුම් ගත හැකිය. ධර්ම විනය යන්නෙන් අභිධර්මය ද ඇතුළුව මුළු බුද්ධ දේශනාවම ගැනෙන බව සුමංගල විලාසිනී අටුවාවේ බුද්ධඝෝෂ හිමියෝ සඳහන් කරති.

ගුණ නුවණින් වැඩිහිටි ථෙරවරුන් විසින් පවත්වන ලද හෙයින් ඊට ථෙරවාද යන නම යෙදුණු බව දීපවංශයයෙහි සඳහන් වෙයි.

සංගායනාව අවසානයේ දී ආනන්ද හාමුදුරුවන් වහන්සේ; ඛුද්දානුඛුද්දක ශික්ෂාපද බැහැර කිරීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන් බව මහා සංඝයා වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළහ. ඉක්බිති මේ පිළිබඳ ඇති වූ විවාදයේදී කුඩා අනු කුඩා ශික්ෂාපද කවරේදැයි බුදුහාමුදුරුවන් වහන්සේගෙන් අසා දැන නොගත් බැවින්, ස්ථවිර භික්ෂූහු ආනන්ද හිමියන්ට කරුණු පහකින් දොස් පැවරූහ.

ආනන්ද හිමියන් වෙත ඉදිරිපත් කරන ලද මේ චෝදනා කිසිවකට උන්වහන්සේ වැරැදි කරු නොවන බවත් සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ සියල්ල පිළිගන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

සංගායනාව අවසානයේ ස්ථාවර කරගත් ධර්මය, පසුකාලීන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කර තැබීමට මෙහි දී පියවර ගෙන ඇත.

ඒ සඳහා එක් එක් ධර්ම කොටස් ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම සඳහා එක් එක් භික්ෂු පරම්පරාවලට පවරන ලදී.

ඒ නිසාම මෙම ප්‍රථම ධර්ම සංගීතිය ධර්මයෙහි පවිත්‍රත්වයට හා බුදු සසුනේ ස්ථාවර භාවයට ද අතිශයින් ඉවහල් වූ බව සඳහන් කළ හැකිය.

තිසරණය

බෞද්ධයකු එකම සරණ ලෙස සළකන්නේ බුදු රජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය සංඝයා යන තෙරුවනයි.

බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයන් ට අනුදැන වදාළේ තමා ම සරණ කරගෙන; ධර්මය ම සරණ කරන ගෙන වාසය කරන ලෙස යි.

අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.
පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.

අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා
පින්වත් මහණෙනි, තමාව පිහිට කර ගෙන, තමාව පිළිසරණ කර ගෙන, වෙන කෙනෙක් පිළිසරණ නො කර ගෙන, ධර්මය පිහිට කර ගෙන, ධර්මය පිළිසරණ කර ගෙන, වෙන දෙයක් පිළිසරණ නො කර ගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින් ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් හට ගන්නේ කුමකින් ද කියා ය. ප්‍රභවය වන්නේ කුමකින් ද කියා ය.

බුදු දහමේ ඉතිහාස‍ය

ආර්යයන් ක්‍රි.පූ. 1500 දී ඉන්දියා‍වට කඩාවැදුණු සංචාරක එ‍ඩේර ගෝත්‍ර කීපයකින් සැදුම් ලත් ආක්‍රමණිකයන් පිරිසකි. සෘග්වේදය මොවුන්ගේ ආගමික ග්‍රන්ථයයි. වඩාත් කාව්‍යමය අගයකින් යුත් එහි, ස්භාවික දේව වන්දනා පිළිබද චමත්කාර විස්තර මිස ඇත්ත වශයෙන්ම දාර්ශනික සංකල්ප නොමැති තරම්ය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික ක්‍රමය නිසා ඔවුන්ගේ ආගමික පිළිවෙත් මෙලෙස සකස් වු බව නිසැකවම සිතිය හැකිය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික පදනම විග්‍රහ කළවිට වෙනත් පැරණි ශිෂ්ඨාචාරයක ඇසුර නොමැතිව ආර්ය ශිෂ්ඨාචාරයට බුදු දහම වැනි දර්ශනයක් බිහිකළ හැකි බව පිළිගත නොහැකිය. සෘග් ‍වේදයේ සදහන් ආගමික අදහස් යජුර් ‍වේදය, සාම ‍වේදය, අථර් ‍වේදය, යන වෛදික ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 1500 සිට ක්‍රි.පූ. 900 තෙක් වෛදික චින්තනය තනිකරම ස්භාවික වන්දනාවකි. නමුත්, ඓතරේය බ්‍රාහ්මණය වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 900 න් පසුව වෛදික ආර්යන් ඒක දේව වාදයක් සකස් කරගෙත ඇති බව පැහැදිළිය. ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගයේදී එම ඒක දේවවාදය තාර්කික පදනමකින් තහවුරු කර, දාර්ශනික අගයකින් යුතු ව සකස් කිරීමට වෛදික ආර්යන් කටයුත කර ඇත. නමුත් ක්‍රි.පූ. 1500 දී පටන් ගන්නා සෘග් වෛදික යුගයේ සිට ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගය දක්වා සියලු කාලයන්හි වෛදික දර්ශනය මූලික වශයෙන් බාහිර වත් පිළිවෙත් මගින් ආත්ම විමුක්තිය පතන දේවවාදී වන්දනා ක්‍රමයකි.මෙබදු වෛදික ආර්යන්ගේ ස්වාධීන චින්තන ධාරාවක් මෙහෙයවී‍මේ ප්‍රථිඵලයක් ලෙස බුදු දහම පහල වූ බව පිළිගත නොහැකිය. බුදු දහම සිද්ධාර්ධ ගෞතම උතුමානන්ගේ තනි ප්‍රකාශනයක් බව සැබෑවකි. නමුත්, සෘග් සාහිතයේ සිට උපනිෂද් යුගය දක්වා වෛදික සංස්කෘතියේ ඉතිහාසය සියුම්ව පරීක්ෂාකළ කල්හි, වෛදික ආර්යන් අතරම සිටි වෛදික සංකල්ප වලට පටහැනි විකල්ප මත දැරූ ආර්ය කණ්ඩායම් පිළිබද තොරතුරු හමු වෙයි. මෙකී සාම්ප්‍රදායික ආර්ය මත විචාරයට ලක් කළ කැරළිකාර ආර්යන් ඉන්දියාවේ තිබූ පැරණි අනාර්ය ආගම් – දර්ශනවාද හදාරන්නට විය. මෙම පිරිස ජෛන, ආජීවක, බෞද්ධ ආදී වෛදික චින්තනයට පටහැනි දර්ශනවලට පදනම දැමූ බව නිසැකය.

ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.

බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.

එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී|ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
“ යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.

— අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය
සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා [1]

මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.

කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා), මරණයට පත් වීම, සෝක කිරීම, වැළපීම (පරිදේව), කායික දුක් (දුක්ඛ), මානසික දුක් (දෝමනස්ස), සුසුම් හෙලීම (උපායාස), ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ), අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම (අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව ගැඹුරෙන් සිතන කෙනෙකුට දැක ගත හැකිය.

මේ ධර්මයට ඇත්තේ එකම ඉලක්කයකි. එනම් සසර පැවැත්මෙන් මිදීම හෙවත් නිර්වාණය ළඟා කර ගැනීමයි. ධර්මයේ හරය විමුක්තියයි. ඒ සඳහා ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ වැඩ පිළිවෙලයි. එය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වඩා ගත යුතු ආකාරය කිසිඳු අඩුවකින් තොරවම දේශනාවල ඇතුළත්ය. මේ දහම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ළඟාකරගත හැකි (සංදිට්ඨික), තමා තුළින්ම අවබෝධ කළ යුතු (ඕපනයික) දහමක් නිසා මෙය ප්‍රඥාවන්ත මනුෂ්‍යයින්ට තම කල්පනාව මෙහෙයවන්නට සැබෑ අවස්ථාවක් සළසා දෙයි.

බුදු දහ‍මේ ආරම්භය

බුදු දහම ආර්ය ශිෂ්ඨාචාරයේ විකසිත වූ අනාර්ය ආගමික සංකල්ප රාශියක විකසිත අවස්ථාවයි. බුදු දහමෙහි ආරම්භය ඉන්දුනිමින ශිෂ්ඨාචාරය තෙක් දුරාතීතයකට අයත් බව රිවිර පුවත්පතට ශාස්ත්‍රීය ලිපියක් ලියමින් මුලිම හෙලිදරව් කළේ ලලීන්ද සන්නස්ගම මහතාය. ඉන්දුනිමිනයෙන් හමු වූ මුද්‍රාවල භාවනා මගින් අධ්‍යාත්මික ගවේශණයක් කිරීමේ ක්‍රමය සදහා පැරණිම සාධකය හමුවෙයි. නමුත් ඊටත් බොහෝ පසුකාලීන ආර්යන් ස්වභාවික වස්තු වලට බාහිර පූජා පවත්වා ආත්ම විමුක්තිය ලබාගන්නා ක්‍රමයක් දක්වයි. ඒ දෙකෙන් බුදුන් වහන්සේ තෝරාගත්තේ ඉන්දුනිම්න ක්‍රමයයි. ඉන්දුනිමින ආගමික සංකල්ප, ආර්ය ශිෂ්ඨාචාරය තුලට කාන්දු වී සියවස් ගණනාවක් පුරා නවීකරණය වීමෙහි ප්‍රතිඵලය වූයේ බුදුදහම පහල වීමයි.

බුදුන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.පූ. 566 – 486 මධ්‍යම ඉන්දියා‍වේ ගංඟා නදී නිම්න ප්‍රදේශයේය. උන්වහන්සේ ආර්ය ශිෂ්ඨාචාරය විසින් මෙන්ම මුළු මහත් මානව සංහතිය විසින්ම බිහිකළ උසස්ම පුද්ගලයා ලෙස නිසැකවම කිවහැකිය.

නිවැරදිව බුදු දහම ඉගෙන ගැනීමට අවශය නමි ත්‍රිපිටකය මුල සිට අධ්‍යනය කළ යුතුය.