අනේ ඒ විපත සිදුවිණි !

දෙවන යුද අධිකරණය විසින් හිටපු හමුදාපති හා ආරක්‍ෂක ප්‍රධානි සරත් ෆොන්සේකාට වසර 2 1/2 ක (මාස 30) සිර දඬුවමක්‌ නියම කරමින් දෙන ලද තීන්දුව සේනාධිනායක ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව දැන් සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවෙකි. සරත් ෆොන්සේකා සිරගත කර ඇත්තේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ චෝදනා සනාථ වී ඔහු වැරදිකරුවකු වීම නිසාත්, ඒ නඩුව විභාග කළ යුද අධිකරණයේ තීන්දුව නිසාත් බව පැහැදිලිය. ඒ නීතිමය ක්‍රියාදාමයට අපට තර්ක ඉදිරිපත් කළ නොහැකිය. එහෙත් බැලූ බැල්මට මේ ප්‍රශ්නය දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක්‌ ලෙස කෙනකුට පෙනී යාමද ස්‌වභාවිකය.

සරත් ෆොන්සේකාට දුන් දඬුවම පිළිබඳ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා වීරයා අද ෙද්‍රdaහියකු කර එදා ෙද්‍රdaහියා අද වීරයකු කළ බවය. රනිල්ගේ මේ ප්‍රකාශය තව ටිකක්‌ විග්‍රහ කළ හොත් එහි ගැබ්වන්නේ මේ රටේ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදයට සෘජුවම සම්බන්ධව සිටි ප්‍රභාකරන්ගේ සමීප සගයකු වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. ට රජයේ සැලකිලි ලැබෙන බවය. එකී මාරක යුද්ධයේ වීරයා ලෙස සිටි පමණක්‌ නොව මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ. බෝම්බයකට ද ගොදුරු වී ජීවිතය බේරා ගෙන ප්‍රභාකරන්ගේ දුෂ්ට ප්‍රචණ්‌ඩත්වය අවසන් කළ සරත් ෆොන්සේකා සිරගත කර ඇති බවය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස සිටින ජ.වි.පෙ. විජිත හේරත් මේ සිද්ධිය විග්‍රහ කරන්නේ සරත් ෆොන්සේකාගේ සිර දඬුවමට අත්සන් තබමින් ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයේ කෘර පළිගැනීමක්‌ කර තිබෙන බවය. ජ.වි.පෙ. නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ද එම තීන්දුව රටේ නීතියටත්, ස්‌වභාවික යුත්තියටත් පටහැනි බවය. එසේම සරත් ෆොන්සේකා නිදහස්‌ කරන ලෙස ආගමික නායකයන් විසින් කරන ලද ඉල්ලීමද ආණ්‌ඩුව කුණු කූඩයට විසිකර තිබෙන බවය.

ආරක්‍ෂක ලේකම් මෙන්ම මෙම තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ ඓතිහාසික භූමිකාවේ ප්‍රමුඛ චරිතයක්‌ වන ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ ද ඒ සියල්ලටම වඩා වෙනස්‌ කතාවකි. ඒ හිටපු හමුදා නායකයාට ලබාදී තිබෙන මාස තිහක බරපතල වැඩ සහිත සිර දඬුවම යළි සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බවය. ගෝඨාභයගේ අවධාරණය මෙය දේශපාලන ගැටලුවක්‌ නොවන බවත් තෙවන පාර්ශ්වයක්‌ මැදිහත්ව එය විසඳිය නොහැකි බවත්ය.

සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා කියා සිටියේ තම සැමියාට ලබාදුන් දඬුවම නිසා තමන් හෝ තම දියණියන් හෝ නොසැලෙන බවත් දණින් වැටී ජීවත් වීමට වඩා දෙපයින් නැගී සිට මිය යැම උතුම් බවත් එනිසා සිය සැමියා පිළිබඳ ආඩම්බර වන බවත්ය.

සරත් ෆොන්සේකා පිළිබඳ දේශපාලන පක්‍ෂ හා ඔහුගේ බිරිඳ දැක්‌වූ අදහස්‌වලට වඩා වෙනස්‌ තවත් විවිධ අදහස්‌ තිබෙන බවද නිසැකය. ෆොන්සේකා වීරයකු ලෙස සිතන අය මෙන්ම ඔහු මේ රටේ යුද විරුවන් පාවා දුන් ෙද්‍රdaහියකු බව සිතන අයද ජනතාව අතර වෙති. එසේම යුද අධිකරණ තීන්දුවක්‌ අභියෝගයකට ලක්‌ කළ නොහැකි යෑයි පවසන නීතිය පිළිබඳ ප්‍රාමාණිකයෝද වෙති.

කෙසේ හෝ සරත් ෆොන්සේකාගේ ප්‍රශ්නය දේශපාලනය විසින් අවුල් කරන ලද්දක්‌ පමණක්‌ නොව දේශපාලනය විසින්ම නිර්මාණය කරන ලද්දක්‌ බවද පෙනේ. එයට හොඳම නිදසුන දෙවන යුද අධිකරණයේදී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් දෙන ලද සාක්‍ෂියයි. එහි ඉතා පැහැදිලිවම සඳහන්ව ඇත්තේ සරත් ෆොන්සේකා සිය හමුදාපති ධුරය උසුලමින්ම දේශපාලනයට නැඹුරු වී ඇති බවය. එමතු නොව සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග මෙන්ම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳවද වෛරයකින් පසු වූ බවය. ඔහු ජනාධිපතිවරයාට කිසිදු ගරුසරුවකින් තොරව කතා කළ බවය. එසේම ඔහු ඇමෙරිකාවට ගොස්‌ කළ දේවල් මෙන්ම එවකට තිබුණු ජනාධිපතිවරණ සටන පිළිබඳව ඔහුගේ අපේක්‍ෂාවන් මෙන්ම නිරීක්‍ෂණ ද ඉදිරිපත් කර ඇති බව ජොන්ස්‌ටන්ගේ සාක්‍ෂියෙන් හෙළි වී තිබේ.

සරත් ෆොන්සේකා දේශපාලනයට අවතීර්ණ වන බවට පුවත් පැතිර ගිය කාලය දැන් බොහෝ දෙනකුට අමතකව තිබෙන්ටද පිළිවන. ඒ දිනවල ඔහු මාධ්‍යවේදීන්ට දුන් පිළිතුරුද දැන් අමතකවී තිබිය හැකිය. එහෙත් ඔහු ඒ දිනවල ප්‍රසිද්ධියේ කළ සියලු ප්‍රකාශයන්හි හරය වූයේ තමා තවමත් රජයේ නිලධාරියෙක්‌ බවත් එයින් නීත්‍යානුකූලව ඉවත් වූ පසුව දේශපාලනය කතා කරන බවත්ය. සිදු වූයේද එය යෑයි අපි ද කල්පනා කළෙමු. එහෙත් මෙම ජොන්ස්‌ටන්ගේ සාක්‍ෂිය අපගේ ඒ මතයට හරස්‌ වෙයි.

සරත් ෆොන්සේකා යුද වීරයා ලෙස අභිෂේක ලබන්නේ යුද්ධයෙහි සියලු ගෞරවය ඔහුට හිමි විය යුතු බවට එදා එ.ජා.ප. යත් ජ.වි.පෙත් ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය නිසාය. එහෙත් මේ රටේ යුද වීරයා ඔහු නොව මහින්ද රාජපක්‍ෂ බව ජනාධිපතිවරයාට දෙවැනි වරට වරමක්‌ දුන් ජනතාව ද ඉතා පැහැදිලිව තීන්දු කර තිබේ. එපමණක්‌ නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය අනුමත කළ මහජන නියෝජතයන්ගේ අදහස වන්නේ ද ඔහු රටට කළ ඒ අභීත හා ජාතික මෙහෙවර වෙනුවෙන් ඔහුට ජනතාවගේ කැමැත්ත පරිදි ජනාධිපති ධුරය හෙබවීමට ඉඩදීම සාධාරණ බවය.

සරත් ෆොන්සේකා දේශපාලනයට ආධුනිකයකු විය. ඇත්තටම මහින්දත් යුද ජයග්‍රහණය අබියස නන්නත්තාර වී සිටි විපක්‍ෂය මෙන්ම සෝදාපාලුවකට ලක්‌ වෙමින් තිබුණු එ.ජා.ප. යට හා ජ.වි.පෙ. ට ද මහින්දට මුහුණ දිය හැකි අපේක්‍ෂකයකු නොවීම නිසා ෆොන්සේකා දේශපාලනයට ආ බව ඉතා පැහැදිලිය. මේ රටේ පැරණිම දේශපාලන පක්‍ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ දේශපාලන වෙස්‌සන්තර කෙනකු බවට පත් වූයේ ඒ නිසා බව ඉතා පැහැදිලිය. එ.ජා.ප. , ජ.වි.පෙ. නයි, පොළොන් දේශපාලන වෛරය සමනය කළ ෆොන්සේකා ජනාධිපතිවරණ සටන තුළ කිසියම් ප්‍රමාණයක හුදෙකලා අයෙක්‌ ද විය.

කෙසේ හෝ ඔහු සිය දේශපාලන වේදිකාව භාවිත කළේ රාජපක්‍ෂවරුන්ට පහර දීමටය. ඔහුගේ නිර්දය ප්‍රහාරයට ලක්‌ වූ එක්‌ අයෙක්‌ වූයේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභයයි. එහෙත් ගෝඨාභයට ඔහු කළ ඇතැම් විවේචන ඔහුගේ දේශපාලන වළ කපා ගැනීමක්‌ බව ඔහු තේරුම් ගත්තේ කලකට පසුවය. ඔහු ජනතාවට කීවේ ගෝඨාභය ටයි ගැටය හිරවී දොඩවන බවය. ඔහු වෙනුවෙන් බෙල්ල දීමට තමා සූදානම් නොවන බවය. එහෙත් “සුදු කොඩි කතාව” තුළ ඔහු වරින් වර සිය ස්‌ථාවරය වෙනස්‌ කර ගත් අයුරු ඒ කතා ආවර්ජනය කරන කාට වුවද පැහැදිලි වනු ඇත.

මේ පිළිබඳව අපට දීර්ඝ විස්‌තර දැක්‌වීමට මෙහිදී ඉඩ නැත. එක්‌ හේතුවක්‌ එය අධිකරණය ඉදිරියට ගොස්‌ තිබෙන ප්‍රශ්නයක්‌ වීමය. එහෙත් අපට ගෝඨාභය සරත් ෆොන්සේකා වෙනුවෙන් කළ බොහෝ මනුෂ්‍යකම් මතකය. ඇත්තටම ෆොන්සේකා හමුදාපති පුටුවට මෙන්ම ආරක්‍ෂක ප්‍රධානි ලෙස ද රැගෙන ආවේ ගෝඨාභයයි. කලකට පෙර පුවත්පත් කතුවරුන් අබියසදී ගෝඨාභය මේ සැඟවුණු කතා රැසක්‌ම අනාවරණය කළ බවද අපට මතකය. ගෝඨාභය එදා ෆොන්සේකා තෝරා ගත්තේ සියලු දෙනාගේම විරෝධය මැදය. ෆොන්සේකාට හමුදාව තුළ වුවද පැවැති විවේචන නොතකා එහි ඉහළටම රැගෙන ආ “පාසල් මිත්‍රයා” හෝ පාසලේදී හඳුනා ගත් අය අවසානයේදී තම සහෝදරයාගේම ප්‍රතිවාදියා ලෙස වේදිකාවට ගොඩවනු බලා සිටීමට සිදුවිය.

ඉතා සංක්‍ෂිප්තව කිවහොත් ගෝඨාභයගේ විශ්වාසය දිනාගත් ඔහු ජනාධිපති මැතිවරණ වේදිකාවට නගින්නේ ඒ විශ්වාසයට පමණක්‌ නොව රාජපක්‍ෂවරුන්ටද සරදම් කරමින්ය. අවලාද නගමින්ය. ඒ දිනවල ජනාධිපති සටනේ සිටි මහින්ද කිසිම දිනක ෆොන්සේකාට දේශපාලන සරදම් කළේ ද නැත. තම හමුදාපතිවරයා තමන්ට එරෙහිව ඉදිරිපත් වීම ඔහුට වුවමනා නම් වැළැක්‌වීමටද හොඳටම ඉඩ තිබිණි. අද ජනාධිපතිවරයා ෆොන්සේකාගේ සිර දඬුවම අනුමත කිරීම ගැන ජ.වි.පෙ. හා එ.ජා.ප. ය දොස්‌ නගති. එහෙත් එදා ෆොන්සේකාට ඉඩ දුන් බවක්‌ හෝ කිසිවිටෙක ඔවුහු කියත්ද?

රාජ්‍ය සේවය අතහැර

ෆොන්සේකා දේශපාලනයට එන්නේ කුමක්‌ සඳහාද යන්නට අප පිළිතුරු ලබා ගත යුත්තේ මේ පසුබිම තුළය. එහි උපත හා විපත අප බැලිය යුත්තේ ඒ පසුබිම තුළය. දේශපාලනය යනු බලය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සටනකි. එහි අඳුරු දූෂිත දේවල්ද තිබේ. එහෙත් මේ රටේ දේශපාලනය තුළ එබඳු පිරිසිදු චරිත තිබේද?

රනිල්ගේ දේශපාලන ගුරුවරයා මෙන්ම එ. ජා. ප. නායකයකුවද සිටි ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන හැසිරීම් දෙස බලන විට මහින්ද රාජපක්‍ෂ කෙබඳු යහපත් හා සාධාරණ මිනිසෙක්‌දැයි පැහැදිලිය. ඡේ. ආර්. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට කළේ කුමක්‌ද? ඇයගේ ප්‍රජා අයිතිය අහිමිකර සිය දේශපාලන ගමන්මඟ ශුද්ධ කර ගැනීමය. ඉන්පසු විජය කුමාරතුංගට කළේ කුමක්‌ද? නැක්‌සලයිට්‌ චෝදනානඟා ඔහු සිර ගෙදරට යෑවීමය. ඒ සියල්ල රනිල්ට මතක තිබිය යුතුය. අමතක නම් හෘද සාක්‌ෂියෙන් අහන්නැයි කීමට අපටද සිදුවේ. එහෙත් ෆොන්සේකා සම්බන්ධයෙන් මහින්ද ක්‍රියා කළේ කෙසේද? ඔහු සමග ද්වන්ධ සටනකට (අනෙක්‌ අපේක්‌ෂකයන් සිටියත් සටන තිබුණේ ඔවුන් දෙදෙනා අතරය) ගොස්‌ විශාල වැඩි ඡන්දයකින් ෆොන්සේකා පරාජය කිරීමය.

මේ දේශපාලන අභියෝග මහින්දට සුපුරුදය. තමා ප්‍රථම වරට ජනාධිපති ධුරයට තරග කරද්දී එවක සිටි ජනාධිපති චන්ද්‍රිකා ඔහුට කළ මදි පුංචිකම් රටට මතකය. චන්ද්‍රිකා බෑ නොකියා කීවේම මහින්ද රටේ නායකත්වයට නුසුදුසු බවකි. චන්ද්‍රිකා සමග සිටි ප්‍රබල ඇමැතිවරු පවා මහින්ද මඟ හරින්ට වූහ. එහෙත් ඔහු ජනාධිපති වී මේ රටේ ඓතිහාසික ගැටලුව විසඳීමටද සමත් විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස දෙවැනි වර ලක්‍ෂ 18 කට නොඅඩු වැඩි ඡන්දයකින් ජනතාව ඔහුට කෘතිවේදිත්වය පළ කළහ.

අනෙක්‌ අතට දේශපාලනයේ නියම ස්‌වභාවය කුමක්‌ වුවද එහි භාවිතය අමිහිරි බව අප පිළිගත යුතුය. ඡන්ද සටන්වලදී එබඳු දේවල් දේශපාලන ඉතිහාසය තුළද වේ. එහෙත් ෆොන්සේකාට සිදුවූයේ දේශපාලනයකට වඩා ඔහු කළ වැරැදිවලට දඬුවම් විඳීමටය. ඔහුගේ දේශපාලන බොළඳකම් සියල්ල අමතක කළත් ඔහුගේ වෛරයට රාජපක්‍ෂවරුන් ලක්‌වී සිටි බව සැඟවිය නොහැක.

ජනාධිපති සටනින් පරාජය වූ ඔහු පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හැකි විය. ඒ සියල්ල සිදු වන්නේද ජනාධිපති මහින්දට මෙන්ම ගෝඨාභයට ද නිර්දය ප්‍රහාර දුන් හා දෙන වාතාවරණයක්‌ යටතේය. ෆොන්සේකාගේ මෙම හැසිරීම දේශපාලන විවේචනයක්‌ ලෙස පිළිගත නොහැක. මහින්ද විවේචනය කරන රනිල් කිසිවිටෙක මෙබඳු අඩියටක ඇද වැටුණේ නැත. ඔහු අරලියගහ මැඳුරට ගොස්‌ කෝපි බී එළියට පැමිණ මහින්ද විවේචනය කරන බව වරක්‌ කියා තිබිණි. එහි ඇත්තේ දේශපාලනයකි. එහෙත් ෆොන්සේකාත් ඔහු වටකර ගත් අයත් ඒ දේශපාලනය අමතක කළ බව පෙනේ. ඇත්තටම ෆොන්සේකාගේ හිර දඬුවමට ඔහු ලක්‌වන්නේ කිසිම දේශපාලන චෝදනාවක්‌ අනුව නොවේ.

දැන් එ. ජා. පයට හා ජ. වි. පෙ ට ජනතාව ඉදිරියට යැමට අලුත්ම සටන් පාඨයක්‌ ලැබී තිබෙනු විය හැකිය. ෆොන්සේකා නිදහස්‌ වීම යනු එක්‌ අතකින් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරවලටද හානියකි. එහෙත් ඔවුන් විසින් කළ යුත්තේ ෆොන්සේකා පිළිබඳවූ මානුෂික දෘෂ්ටියකින් බලන ලෙස රජයට බලපෑම් කිරීමය දැනටමත් රජයෙන් ඒ සඳහා ඉතා පැහැදිලි සංඥවක්‌ නිකුත් වී තිබේ. මෙම සටහන ආරම්භයේදීම අප උපුටා දැක්‌වූ ගෝඨාභයගේ ප්‍රකාශය එයට සාක්‌ෂිය. ඕනෑම අපරාධකරුවකුට ජනාධිපති සමාව දීමට බාධාවක්‌ද නැත. ෆොන්සේකාගේ පවුලේ උදවිය ද කල්පනා කළ යුත්තේ ඒ පිළිබඳවය.

ෆොන්සේකාටද තමන් කළ කී දේවල් හා තමන්ගේ භූමිකාව පිළිබඳ හෘදය සංවාදයක යෙදිය හැකිය. පුහුදුන් මිනිසකු ලෙස සිදුවන වැරැදි අප කාටත් පොදුය. තමන් පිළිබඳ අධිතක්‌සේරුව, සමාජය තුළින් අපේක්‍ෂා කරන වීරත්වයේ කිරුළ බොහෝ විට හොඳට වඩා නරකට බලපාන බවද උපේක්‌ෂාවෙන් බලන විට පෙනේ. අද අනෝමාගේ මුවින් පිටවන්නේ “දණින් වැටී ජීවත්වීමට වඩා දෙපයින් සිට මිය යැම උතුම්ය” වැනි එදා ජ. වි. පෙ. තරුණයන්ට ලබා දුන් ආකර්ෂණීය සටන් පාඨ බවද පෙනේ. ඒවාට අත්පුඩි ගසන ඇයද තවමත් සිටිති. එහෙත් මේ ඊට වඩා වෙනස්‌ තත්ත්වයකි. බුද්ධියෙන් හා ඉවසීමෙන් මේ අවස්‌ථාවට මුහුණදීම අනෝමාගේ වගකීමකි. ඇයට ඒ සඳහා ධෛර්යදීම ඇය වටා සිටින අයගේ යුතුකමකි. වගකීමකි.

එදා මහත්මා ගාන්ධි විසින් කරන ලද අගනා ප්‍රකාශයක්‌ද අපට මෙහිදී සිහිපත් වේ. එනම්” අසීමිත ලෙස සමාව දීම දුබලයන්ට කළ නොහැක” යන්නයි. ජනාධිපති මහින්ද යනු දේශපාලන බලහත්කාරකම් වලින් මෙල්ල කළ හැකි චරිතයක්‌ද නොවේ. සිය දේශපාලන භූමිකාව තුළ ඔහු නැඟී සිටියේ ගමන දැන ගිය නායකයකු ලෙසය.

පසුගියදා ජගත් සමුළුව ඇමතීමට නිව්යොර්ක්‌ බලා ගිය ගමනේදී ජනාධිපති මහින්ද හූස්‌ටන්වලට ගොස්‌ එරට සිටින ශ්‍රී ලාංකිකයන් ද හමුවිය. ජාතික වගකීම හා ජාතික හැඟීම් පිළිබඳ කතා කළ ඔහුට එහි සිටි දෙමළ ජාතික නීතීඥයෙක්‌ අපූරු කතාවක්‌ කීවේය. එනම් “ඔබතුමා දුටුගැමුණු කෙනෙක්‌ මා දෙමළ ජාතිකයකු වුවත් දුටුගැමුණු වැනි යුක්‌ති ගරුක ධාර්මික රජකෙනෙකුට ගරු කරනවා. ඒ ඉතිහාසය මටත් ආඩම්බරයි. ඔබතුමාට යළි දුටුගැමුණු යුගයක්‌ අපට නිර්මාණය කර දෙන්න පුළුවන්. ඒ ශක්‌තිය ඔබට තිබෙනවා.”

අප මෙහි දෙමළ ජාතික යන්න විශේෂයෙන් දැක්‌වූයේ එහි අගය වඩාත් අවධාරණය කිරීමටය. එසේනම් මහින්දට මේ දේශපාලන මූග්ධකම් හා දේශපාලන වෛරයට ප්‍රබුද්ධ හා උපේක්‌ෂා සහගත ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට බාධාවක්‌ නැත. කුමක්‌ වුවත් මෙහිදී “අනෙ එ විපත සිදුවිණි නොදනිමු කාගෙ දොසා”යෑයි අපි නොකියමු.

මේඝ

http://www.divaina.com/2010/10/03/politics01.html

Advertisements